15976 BM WEB BANNER 01
Feb 03, 2017

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටට අවශ්‍යයි - සෞඛ්‍ය ඇමති Featured

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රට තුළ බිහිවිය යුතු යැයි රජය විශ්වාස කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස නියෝග කරමින් අධිකරණය දුන් තීන්දුව පිළිබඳව අදහස් දක්වමිනි.

"නිදහස් අධ්‍යාපන ආරක්ෂා විය යුතුයි කියනවා, නිදහස් අධ්‍යාපනේ තියෙන පළවෙනි පරමාර්ථය තමයි අධ්‍යාපනය ලැබීමට තිබෙන නිදහස්, ඒ නිදහස සඳහා තමයි සයිටම් වගේ ඒවා තියෙන්නේ"

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විදයාලයේ ප්‍රමිතිය පිළිබඳව වෛද්‍ය සභාව මතුකළ කරුණු තුනෙන් දෙකක්ම මේවන විට ඉටුවී ඇති බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා, ඉතිරි කරුණවන සායනික පුහුණුව සඳහා ද ක්‍රමවේදයක් සකස් කර ගත හැකි පෙන්වාදුණි.

විදේශයක අධ්‍යාපනය ලැබුවන් පමණක්:
විදේශ වෛද්‍ය උපාධි ලබාගෙන පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට පැවැත්වෙන විභාගය වැනි විභාගයක්වත් මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට නොපවත්වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නගන චෝදනාව පිළිබඳව කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ වෛද්‍ය සභාවේ නිතිය අනුව එවන් විභාගයක් සඳහා පෙනී සිටිය යුත්තේ විදේශයක අධ්‍යාපනය ලැබුවන් පමණක් බවය. 

අවශ්‍යනම් සිසුන් එවනි විභාගයකට ද පෙනීසිටීමට සුදානම් බව ඔහු පැවසීය.

යම් හෙයකින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම තීන්දුවට එරෙහිව වැඩ වර්ජනයක් කැඳවුවහොත් ඊට මුහුණ දීමට රජය ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි විමසු විට, අධිකරණය ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අමාත්‍යවරයා පැවසුවේ අධිකරණයට අපහාස කිරීම වසර දෙකක සිර දඬුවමක් හිමිවන බරපතල වරදක් බව ද පෙන්වා දෙමිනි.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top