nsb

Feb 03, 2017

වෛද්‍යවරු පැය 4ක් වර්ජනයේ : වෛද්‍ය සිසුන්ට ඇප

අධිකරණ නියෝග උල්ලංඝණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සිසුන් විසි එක්දෙනා ඊයේ (02) රාත්‍රියේ ඇපමත මුදාහැර ඇත.

ඒ, එම සැකකරුවන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ කොළඹදී විරෝධතා පා ගමනක නිරත වුයේ, එම විරෝධතා පා ගමන සම්බන්ධයෙන් කොටුව පොලිසිය අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදීය.

විරෝධතා පා ගමනේ නිරත වූ සිසුන් පොලිස් මාර්ග බාධක බිඳ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමේ දී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක්ද එල්ල කළේය.

වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක:

මේ අතර මෙම සිද්ධියට විරෝධය පළ කරමින් අද උදෑසන 8.00 සිට මධ්‍යහ්න 12 දක්වා පැය හතරක් සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

SAITM ආයතනය නීතිගතකිරීමට විරුද්ධව වෛද්‍ය ශිෂ්‍යයන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයට පහරදීම සහ සිසුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි රැස්වීමක් ඊයේ රාත්‍රී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ දී පැවැත්විණි.

විරුද්ධ මත ප්‍රකාශ කිරීම සහ උද්ඝෝෂණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණයක් බව පෙන්වාදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අහිංසක නිරායුධ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකගේ උද්ඝෝෂණයට පහරදෙනවා වෙනුවට කළයුතුව තිබුණේ ඔවුන්ගේ ගැටලුව විමසා එයට පිළිතුරු සැපයීම බව එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්විණි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top