Feb 03, 2017

"අපි සැවොම ලාංකිකයි” කිව්වයි කියල ප්‍රශ්න විසඳෙන්නෙ නෑ" Featured

උතුරේ දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් සොයන්නේ නැතිව විවිධ රැස්වීම්වලදී හා ක්‍රීඩා තරගවලදී "අපි සැවොම ලාංකිකයි" යැයි පැවසීමෙන් පමණක් තම සමාජයේ ප්‍රශ්න නොවිසෙඳෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා කියයි.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා‍ මේ බව පවසා තිබේ.

දෙමළ ජනතාවගේ ගැටළු පිළිබඳව සොයා බලා එම ප්‍රශ්නවලට විසඳුමක් සොයාගැනීම අවශ්‍යවී ඇති බවත් ඒ මහතා එහිදී පෙන්වාදී ඇත.

දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද පවසා තිබේ.

" ළඟදී මාගේ මිත්‍ර දයාසිරි ජයසේකර මහතා මාව උතුරෙන් පන්නන්න ඕනෑ, ගහල එලවන්න ඕනෑ කියා කියා තිබෙනවා. එයා මගේ හොඳ මිත්‍රයෙක්. මා හොදින් දන්න කෙනෙක්. මාව ගහලා පන්නලා දැම්මට දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න කියන ඇත්ත කියන්න කෙනෙක් නැතිවුණා කියා කියන්න බැහැ. අප කියන්නේ ඇත්ත. මා කිව්වත් වෙන කවුරු කිව්වත් ඇත්ත ඇත්ත තමයි මේ. අපේ ප්‍රශ්නවලට විසඳුමක් සොයාගන්න නැතිව එක එක රැස්වීම් වලදී , ක්‍රීඩා තරගවලදී අපි සැවොම ලාංකිකයි කියා ප්‍රකාශ කළාට හරියන්නේ නැහැ.

දෙමළ මනුෂ්‍යන්ගේ ප්‍රශ්න දැනගෙන එම ප්‍රශ්නවලට විසඳුමක් සොයාගන්න ඕනෑ. එම ප්‍රශ්නවලට විසඳුම් අරගෙන අපි ඕනෑ දෙයක් කරමු. උතුරේ සිට දකුණට යන්නත් දකුණේ සිට උතුරට යන්නත් පුළුවන් එකේ ප්‍රශ්නයක් නැහැ.
ඔවුන් හැම තිස්සෙම කියන්නේ මේ ෆෙඩරල් ක්‍රමයට රට බෙදෙනවා කියා. කවුරු කියනවාද කියා අප දන්නේ නැහැ. ලෝකෙය පුරාම කියන්නේ ෆෙඩරල් ක්‍රමය රට එකතු කිරීමට හොද ක්‍රමයක් කියා. නමුත් දකුණේ සිටින දේශපාලඥයින් පවසන්නේ මෙය රට බෙදීමක් කියා. ඉතින් මේවා ඔවුන් දැනගත යුතුයි මොකටද මේ ප්‍රශ්න. අපි මොනවද මේ එක එක්කෙනා ප්‍රකාශ කරන්නේ කියා දැන ගත යුතුයි.

දයාසිරි ජයසේකර මහතා මාව පන්නන් ඕනෑ කියා කියන්නේ මේකයි. මම විමසීමක් කළා කිව්වා යුද්ධයේ ගැටළු සම්බන්ධයෙන්. ආණ්ඩුව මේ පිළිබඳ විමසීමක් නොකරද්දී අපි හෝ මිනිසුන් ගෙන්වාගෙන ඔවුන්ගෙන් විමසා යුද්ධයේදී මොකද්ද වුණේ කියා කියන්න කියලා මා විමසීමක් කළා. ඒ පිළිබඳව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පවසා සිටින්නේ මා ජාතිබේද අතිකරනවා කියලා. ඒ නිසා මාව පන්නා දැමිය යුතුයි කියා ඔහු කියනවා. යුද්ධයේ සිදුවුණ දේවල් පිළිබඳව අපට කවදාච දැනගන්න පුළුවන් වෙන්නෙ, ඉතින් එයයි අපට දැනගන්න ඕනෑ විය යුත්තේ.

මම ඇහුවේ නැත්නම් තවත් අයෙක් අහනවා මේ ප්‍රශ්න ගැන. ඉතින් මේ ගැටළුවලට විසඳු මක් සොයාගන්න නම් ඔවුන් දැනගන්න ඕනෑ අපේ ගැටළු මොනවද කියලා. එහෙම නැතිව එක එක දේ කිව්වට ඵලක් වෙන්නෙ නැහැ. උතුරු පළාත් සභාවට චෝදනාවක් තියෙනවා උතුරු පළාතේ සිංහල මිනිසුන්ට අප සලකන්නේ නැහැ කියලා. අද විවෘත කළ ගොඩනැගිල්ල හා තවත් එක් ගොඩනැගිල්ලක් තිබෙනවා. ඒවා දිහා බලපුවාහම ඔබලාට තේරෙයි සිංහල ප්‍රදේශවලට අපි සලකනවද නැද්ද කියලා. උතුරු පළාතේ ඉන්න සිංහල මිනිස්සුත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ.

මොකද කියනවානම් අවුරුදු පනහක් හැටක් මේ ප්‍රදේශයේ ඉන්න අය අපේ මිනිස්සු. අපේ උතුරු පළාත් සිංහල මිනිස්සු අපට ප්‍රශ්න තිබෙන්නේ පිට පළාත්වල සිට මිනිස්සුන්ව ගෙන්නගෙන මේ ප්‍රදේශවලට අරන් ඇවිත් අපේ මිනිස්සුන්ට හුගාක් ඉඩකඩම් ඕනෑ වෙලා තිබෙන කොට ගෙවල් ඕනෑ වෙලා තිබෙන කොට එවැනි තත්වයන් උඩ පිට පළාත් වලින් ගෙනවිත් මෙහේ දමනකොට තමයි අපට ප්‍රශ්න තිබෙන්නේ. ඒ නිසා සිංහල මිනිස්සු සමඟ අපේ කිසිම අමනාපයක් නැහැ කියලා කියන්න කැමතියි.

අපේ කුඩා කාලයේ සිටම මෙහෙ සිංහල ජනතාව ඉදලා තියෙනවා. මම සිතන විදිහට අවුරුදු 75 පමණ කාලයක සිටයි. මගේ වයස ඔබට දැනගන්න පුළුවන් දැන්. අවුරුදු 75 පෙර පොඩි කාලයේ අපිට පාන් ගෙනාපුකෙනා මාතර සිට පැමිණි අප්පුහාමි කියා කෙනෙක්. හැම වෙලාවෙම ඔහු ආපු හැටියෙම කියනවා බබෝ මොනවද ඕනෑ කියා. එවිට මා කියන්නේ මට බනිස් ඕනෑ කියා. ඉතින් ඔහු කියනවා මේ ළමයට සිංහල පුළුවන් නේද කියලා. ඉතින් අවුරුදු 75 පෙරද අපි සිංහල කතා කරලා තියෙන්නේ. ඔවුන් මේ ප්‍රදේශයේ වසර 50 ක් හෝ 60 සිටපු අය. ඒ නිසා සිංහල අය සමඟ අපට කිසිදු ගැටළුවක් නැහැ.

1950 සිට 1956 වෙනතෙක් උතුරු පළාතේ තිබෙන පාසල්වලට සිංහල උගන්වන්න දකුණේ සිට ගුරුවරු ආවා, බෞද්ධ භික්ෂූන් වහන්සේලා පැමිණියා. එවිට අපේ දෙමළ මිනිස්සූ හොද උත්සහයකින් සිංහල ඉගෙන ගත්තා. 1956 දී මොකද වුණේ, දෙමළ භාෂාවට ඉඩක් දෙන්නේ නැතිව ලංකාව පුරාම සිංහල පමණයි කියා නීතියක් ගෙනාපු හැටියේම තමයි මේ ගැටළු සියල්ලම ආරම්භ වුණේ.

ඉතින් ඒ නිසා අප දැනගතයුතුයි වත්මන් මේ ගැටළු ආරම්භවීමට කාරණාවකුමක්ද කියා. ඒ ගැටළු දැනගන්නැතිව අපි එක එක්කෙනා කිව්වට ගැටළු විසදෙන්නේ නැහැ. අපේ මන්ත්‍රීවරයා කිව්වා මේ ප්‍රදේශයේ රැකියා පුරප්පාඩු තිබෙනවා කියා. මෙහේ විතරක් නෙමෙයි අපේ ප්‍රදේශයේද පුරප්පාඩු තිබෙනවා. මේ පළාතේ රැකියා පුරප්පාඩු පුරවන්න මධ්‍යම රජයෙන් දෙන්නේ නැහැ. එයට මා මොනවා කරන්නද. පුළුවන් තරම් උත්සහ කරනවා ඔබලාගේ පුරප්පාඩු පුරවන්න. එය මටත් හොදයි අප හැමෝටම හොඳයි යැයි ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top