nsb

Feb 03, 2017

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ඉතියෝපියාවේ විවෘත වෙයි

විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමා හා ඉතියෝපියාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු ආචාර්ය වරක්නේ ගිබෙයිහු මැතිතුමා 2017 පෙබරවාරි 02 වැනි දින ඇඩිඩස් අබාබාහි “බෝල් සබ් සිටි” හි දී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිල වශයෙන් විවෘත කළහ. ඇඩිස් අබාබා හි සිටින නේවාසික තානාපතිවරු පනහකට අධික සංඛ්‍යාවක්, ඉතියෝපියාවේ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීහු, ඉතියෝපියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව, ව්‍යාපාරිකයෝ හා සුභපතන්නෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

චාන්සරි පරිශ්‍රයේ ජාතික කොඩිය ඔසවා ශ්‍රී ලංකාවේ හා ඉතියෝපියාවේ ජාතික ගී ගායනා කර සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව අමාත්‍යවරුන් විසින් සමරු ඵලකය නිරාවරණය කරන ලදී.

සම්ප්‍රදායානුකූල මිතුරන් සමග මිත්‍රත්වය යළි ස්ථාපනය කිරීමේ හා අප්‍රිකානු කලාපය සමග ප්‍රබල සබඳතා ගොඩනගා ගැනීමේ ශ්‍රී ලංකාවේ නව ප්‍රතිපත්තිය විදේශ අමාත්‍ය සමරවීර මහතා රැස්ව සිටි පිරිස අමතමින් අවධාරණය කළේය. සාමාජිකයින් 54 දෙනෙකුගෙන් සමන්විත අප්‍රිකානු සංගමය එහි මූලස්ථානය ඇඩිස් අබාබා හි පිහිටුවීමත් සමගම ඉතියෝපියාව අප්‍රිකාවේ රාජ්‍යතාන්ත්‍රික හා දේශපාලනික අගනගරය වන හෙයින් ඉතියෝපියාවේ නව දූත මණ්ඩලයක් විවෘත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව හෙතෙම පැවසීය.

නේවාසික දූත මණ්ඩලයක් ඇඩිස් අබාබා හි විවෘත කිරීමට ශ්‍රී ලංකාව විසින් තීරණය කරනු ලැබුවේ ඉතියෝපියාව සමග ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට පමණක් නොව අප්‍රිකානු රටවල් සමග අපගේ සහෝදරත්වය වැඩිදියුණු කර ගැනීම සඳහා අප්‍රිකානු සංගමය සමග කටයුතු කිරීම සඳහාත් බව එතුමා තවදුරටත් අවධාරණය කළේය. ශ්‍රී ලංකාව, අප්‍රිකානු නොවන රටක් ලෙස 2014 වසරේදී අප්‍රිකානු සංගමයේ (AU) පිළිගැනීමේ තත්ත්වය ලබාගැනීම නිසා ශ්‍රී ලංකාව හා අප්‍රිකානු කලාපය අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා ඉඩප්‍රස්ථා හිමිවූ අතර අනාගතයේදී එහි නිරීක්‍ෂක තත්ත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්‍ෂා කරයි.

දූත මණ්ඩලය විවෘත කිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය සහාය හා සහයෝගීතාව දැක්වීම වෙනුවෙන් විදේශ අමාත්‍ය සමරවීර මහතා ඉතියෝපියානු රජයට, විශේෂයෙන් ඉතියෝපියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාට ස්තූතිය පුද කළේය.

2015 වසරේදී පත්කර ගන්නා ලද ජාතික ආණ්ඩුව පසුගිය වසර දෙක තුළදී, ප්‍රජාතාන්ත්‍රීකරණය, සංහිඳියාව සහ සංවර්ධනය පදනම් කර ගනිමින් අප රට ඉදිරි ගමනකට යොමුකර ඇති ආකාරය පිළිබඳව එතුමා කරුණු පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවේ විවිධත්වයට ගරු කරන නව ව්‍යවස්ථාමය කෙටුම්පතක වැඩ කටයුතු අවසන් කිරීමේ ක්‍රියාවලියේ ශ්‍රී ලංකාව නියැලී සිටින බව තවදුරටත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා අප රට මෙන් ඉතියෝපියාව ද බහුජන, බහුආගමික හා බහුභාෂාමය රටක් වන හෙයින් එහි ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව දිරි ගැන්වෙන බව අවධාරණය කළේය.

ඉතියෝපියාව සමග පවත්වාගෙන යනු ලබන ද්වීපාර්ශ්වික හා ආර්ථික සබඳතා වර්ධනය කිරීම සඳහා ඇති හැකියාවන් පිළිබඳව ශ්‍රී ලංකාව සොයා බලන බව ද එතුමා අවධාරණය කළේය. ශ්‍රී ලංකාව හා ඉතියෝපියාව අතර වෙ‍ළෙඳ සබඳතා සැමවිටම ශ්‍රී ලංකාවට වාසිවන අයුරින් පවතින හෙයින් ශ්‍රී ලාංකික අපනයනකරුවන් ඉතියෝපියාව සමග ව්‍යාපාරික කටයුතුවල නියැලීමට ඉතා උනන්දුවක් දක්වන අතර ඇඟලුම් නිෂ්පාදකයන් කිහිපදෙනෙක් දැනටමත් ඉතියෝපියාවේ ව්‍යාපාරික කටයුතු අරඹා ඇත. ඉතියෝපියාවේ ව්‍යාපාරික කටයුතු සඳහා පුහුණු සහ අර්ධ පුහුණු ශ්‍රම බලකාය හුවමාරු කර ගැනීමට අපේක්ෂාවෙන් සිටියි. ඉතියෝපියානු සංඛ්‍යාලේඛනවලට අනුව ඉතියෝපියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව ආසන්න වශයෙන් 1500 ක් පමණ වෙතයි අපේක්ෂා කෙරේ. සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා මූලික වන දෙරටේ ජනතාව අතර සබඳතා දිරිමත් කරමින් කොළඹට ඝෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන ලෙස ඉතියෝපියානු එයාර්ලයින් ගුවන් සමාගමෙන් එතුමා තවදුරටත් ඉල්ලා සිටියේය.

අතිගරු ජනාධිපති මුලාටු ටිෂෝමි, ගරු කතානායක ගරු අබ්දුලා ජෙමෙඩා, අග්‍රාමාත්‍ය හා අග්‍රාමාත්‍ය විශේෂ උපදේශක අතිගරු අචාර්ය අකබේ ඔකුබේ මෙන්ම අප්‍රිකානු සංගම් කොමිසම් සභාවේ සභාපති ආචාර්ය අතිගරු න්කොෂශානා ෂුමා සමග පැවති සාකච්ඡා මගින් ඉතියෝපියාව හා සමස්ත අප්‍රිකානු කලාපය සමග අපගේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ස්ථිරසාර පදනමක් ලැබී ඇතැයි අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය සමරවීර මහතා සඳහන් කළේය.

සිය අග නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම පිළිබඳව සතුට පළකරමින් එමගින් ද්වීපාර්ශ්වීය සබඳතා වැඩිදියුණු වනු ඇතැයි ඉතියෝපියානු විදේශ අමාත්‍ය ආචාර්ය වොර්ක්නේ ජේබියෙහු මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව හා ඉතියෝපියාව නොබැඳි ව්‍යාපාරයේ සක්‍රීය සාමාජිකයන් වන බව ඔහු විසින් සිහිපත් කළ අතර, බොහොමයක් ජාත්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් සමාන අදහස් දරා ජාත්‍යන්තර සංසදවලදී එකිනෙකා සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරන බව ඔහු මෙහි දී සිහිපත් කර සිටියේය. ශ්‍රී ලංකා දූත මණ්ඩල පිහිටුවීමත් සමග ඉතියෝපියාව සමග පමණක් නොව අප්‍රිකාවේ අනෙකුත් රටවල් සමග සිදු කරනු ලබන වෙළඳ හා ආයෝජන කටයුතුවල සැලකිය යුතු වැඩිවීමක් දැක ගත හැකි බවට ද ඔහු අපේක්ෂා පළ කළේය.

මෙම සංචාරය තුළදී අත්සන් තබන ලද දෙරටේ විදේශ අමාත්‍යාංශ දෙක අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම හා සහයෝගීතාවය පිළිබඳව ඒකාබද්ධ කොමිසම් සභාව පිහිටුවීම පිළිබඳ ගිවිසුම මගින් දෙරට අතර සබඳතා වැඩිදියුණු වනු ඇතැයි අමාත්‍ය දෙපොළ අවධාරණය කළහ.

ඇඩිස් අබාබා හි නේවාසික දූත මණ්ඩලයක් පිහිටුවීම අප්‍රිකාව සමග වඩාත් ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීම සඳහා නව රජයේ විදේශ ප්‍රතිපත්තිය යටතේ විදේශ අමාත්‍ය සමරවීර මහතා විසින් ගනු ලැබූ දූරදර්ශී තීරණයක් බව ඉතියෝපියාව සඳහා නම් කළ ශ්‍රී ලංකාවේ පළමු ශ්‍රී ලංකාවේ පළමු තානාපති සුමිත් දසනායක මහතා සඳහන් කළේය. සිය ඉදිරි සංචාරක හා ආයෝජන මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගන්නා ලෙස එතුමා ඉතියෝපියාවෙන් හා අනෙකුත් අප්‍රිකානු රටවලින් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව හා ඉතියෝපියාව අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1972 වර්ෂයේදී ස්ථාපනය කරන ලදී. ඉතියෝපියාව සඳහා ශ්‍රී ලංකාවේ පළමු තානාපතිවරයා කෙන්යාවේ නයිරෝබි හි සිට සමගාමීව අක්ත ගන්වමින් පත් කරන ලදී. 1978 වසරේ සිට, ඉන්දියාවේ නව දිල්ලි නුවර සිටින ඉතියෝපියානු තානාපතිවරයා ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top