nsb

Feb 04, 2017

කොතලවල වෛද්‍ය පීඨයට එකඟ වුනේ බය නිසාද ? Featured

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගත්තේ 'සයිටම්' ආයතනය පමණක් නොවන බවත්,  කොතලවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක්‌ ආරම්භ කල අවස්ථාවේදී එදා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට බයේ කිසිවකු ඊට විරුද්ධ නොවූ බවත් පාර්ලිමේන්තුවේ සභානායක, උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ද මුදල් ගෙවා ඉගෙන ගන්න තැනක්‌ බවත් ඔහු කියා සිටියේය.

ඇමැතිවරයා මෙම අදහස්‌ පළ කළේ ඊයේ අනුරාධපුරදී පැවැති ඉංග්‍රීසි පාඨමාලාවට සිසුන් බඳවා ගැනීමේ උළෙලේදී ය.

සයිටම් නඩු තීන්දුවට කැමැති වුණත්, අකමැති වුණත්  සියලු පාර්ශ්ව එම තීන්දුවට අවනත විය යුතු යෑයි ද ඇමතිවරයා එහිදී අවධාරණය කර සිටියේය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

විරුද්ධව අය අධිකරණයට ගිහින් නැහැ :

පසුගිය රජය කාලයේ ආරම්භ කරපු සයිටම් විශ්වවිද්‍යාලයට විරුද්ධව අද පෙළපාලි යනවා. පසුගිය අවුරුද්දේ සයිටම් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍යවරු හැටියට සමත් වුණ කණ්‌ඩායමක්‌ අධිකරණය හමුවට ගියා. අධිකරණය දැන් ඒ පිළිබඳව තීන්දුවක්‌ දී තිබෙනවා.

අපි සියලු පාර්ශව කැමැති වුණත්, අකමැති වුණත් අධිකරණය දුන් තීන්දුව පිළිගන්න ඕන. සයිටම් විශ්වවිද්‍යාලය පටන් ගන්න කාලේ කිසිම පාර්ශ්වයක්‌ සයිටම් විශ්වවිද්‍යාලයට විරුද්ධව කටයුතු කළේ නැහැ. අධිකරණය ඉදිරියට ගිහිල්ලත් නැහැ. 2011 සිට අද දක්‌වා සයිටම් විශ්වවිද්‍යාලයට විරුද්ධව අධිකරණයට ගොස්‌ නැහැ.

එදා සුදු වෑන් වලට බයේ පැහැර ගැනීම්වලට බයේ සයිටම් විශ්වවිද්‍යාලයට විරුද්ධව කවුරුත් කතා කළේ නැහැ.

අතකොළු වෙන්න එපා :

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයත් මුදල් ගෙවලා ඉගෙන ගන්න තැනක්‌. දැන් ප්‍රමිතිය ගැන කතා කරනවා.

මම වෛද්‍ය ශිෂ්‍යයන්ට කියන්න කැමතියි කාගේවත් අතකොළු බවට පත් වෙන්න එපා. පෞද්ගලික වෛද්‍ය සායන හොඳයි නම් පෞද්ගලික අධ්‍යාපනය තහනම් ද? මොකක්‌ද මේ විහිළුව.

අද මිත්‍යාවක්‌ තිබෙනවා. විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන්නේ ලංකාවේ හොඳම ශිෂ්‍යයෝ කියලා. ඒක වැරදියි. කලා අංශයේ ශිෂ්‍යයෝ තමයි හොඳම ශිෂ්‍යයෝ. මොකද ඒ අය විශ්වවිද්‍යාලවලට යන්නේ මුළු ලංකාවෙන්ම වැඩිම ලකුණු ප්‍රමාණය අරගෙන. ඒ අයට කෝටා ක්‍රමයක්‌ නැහැ.

 නමුත් විද්‍යා අංශයට 40% යි ලකුණු අනුව යන්නේ. 60% ක්‌ ඇතුළත් වන්නේ කෝටා ක්‍රමයට. දුෂ්කර පළාත්වලට කෝටා ක්‍රමය දී තිබෙනවා. මම නරකයි කියලා කියන්නේ නැහැ. ඒක හොඳයි. දුප්පත් ළමයින්ටත් උසස්‌ අධ්‍යාපනය ලබන්න අවස්‌ථාවක්‌ දිය යුතුයි. අපි ඒක නතර කරලා නැහැ.

මොකක්ද මේ විහිළුව ?

කොළඹ ප්‍රදේශයෙන් ඊ තුනක්‌ ගත්ත ශිෂ්‍යයෙකුට වෛද්‍ය පීඨයට ඇතුළත් වෙන්න බැහැ. නමුත් හම්බන්තොටින් S තුනක්‌ ගත්ත ශිෂ්‍යයෙකුට වෛද්‍ය පීඨයට ඇතුළත් වෙන්න පුළුවන්. හම්බන්තොටින් සම්මාන 3 ක්‌ ගත්ත අය විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. කොළඹින් ඊ තුනක්‌ ගත්ත අයට ඇතුල් වෙන්න බැහැ. අන්න ඒ ඇතුල් වෙන්න බැරි ශිෂ්‍යයන් ගැන තමයි අපි සියලු දෙනා කල්පනා කරන්න ඕන.

වසරකට මිලියන 7000 ක මුදලක්‌ අපේ දරුවන් විදේශ ගතවෙලා ඉගෙන ගන්න වැය කරනවා. ඉතින් ඒ දරුවන්ට මෙරට ඉගෙන ගන්න විශ්වවිද්‍යාල ආරම්භ කිරීම වැරදිද? එහි කිසිම වැරැද්දක්‌ නැහැ.

කප්පාදු කරන්නේ නැහැ:

දේශපාලන අරමුණු සහිතව විවිධාකාර වැරදි අවබෝධයන් සමාජයට ලබා දී තිබෙනවා. අධිකරණ නියෝග පිළිගන්නේ නැත්නම් ඒක අධිකරණයට කරන අපහාසයක්‌. මේ අය ඒක දන්නේ නැද්ද?

මේ අය හිතන්නේ විද්වතුන් බුද්ධිමතුන් කියලා. එහෙම කියනව නම් ඒ අය නීතිගරුක වෙන්න ඕනා. කිසිම ප්‍රමිතියක්‌ නැති පුද්ගලයන් තමයි මේවා මෙහෙයවන්නේ.

මම පැහැදිලිව කියනවා. අපි නිදහස්‌ අධ්‍යාපනය කප්පාදු කරන්නේ නැහැ.

එක්‌සත් ජාතික පක්‍ෂය තමයි මේ රටේ නිදහස්‌ අධ්‍යාපනය ආරම්භ කළේ . අපි එය පෝෂණය කරනවා. එය ශක්‌තිමත් කරනවා.''

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top