Feb 04, 2017

මුලතිව් : “ජාතික ශෝක දිනයක්” (වීඩියෝ) Featured

ආණ්ඩුව විසින් මහත් උත්සවශ්‍රීයෙන් සැමරීමට සැලසුම් යොදා ඇති ජාතික නිදහස් දිනය ජාතික ශෝක දිනයක් ලෙස සමරන බව හමුදාව වාඩිලාගෙන සිටින භූමිය ඉල්ලා සිව් දිනක් තිස්සේ සත්‍යග්‍රහයක යෙදී සිටින මුලතිව් දිස්ත්‍රික්කයේ  විරෝධතාකරුවන් පිරිසක් විසින් ප්‍රකාශයට පත් කරද්දී ඉඩම් වෙනුවෙන් තවත් උද්ඝෝෂණයක් පුදුකුඩියිරුප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අබියස පවත්වා තිබේ.

ගුවන් හමුදාව විසින් හත් අවුරුද්දක් තිස්සේ අත්පත් කරගෙන සිටි ඉඩම් නිදහස් කළ බවට රජයෙන් ලද නිවේදනය පරිදි 31 අඟහරුවාදා  පදිංචියට ගිය අවස්ථාවේ බලධාරීන් විසින් ඊට අවසර දීමෙන් වැළකී සිටීමට විරෝධය පාමින් මුලතිව් දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් ගේදොර අහිමි වූ පිරිසක් ආරම්භ කළ  වාඩිලා ගැනීමේ උද්ඝෝෂණය සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් පවති.

විරෝධතාවයේ නිරත  මුලතිව් දිස්ත්‍රික්කයේ කරෙයිතුරෙයිපත්තු ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශයේ කේපාපුලව් ග්‍රාම නිලධාරී  වසමට  අයත්  පිලව්කුඩියිරුප්පු ග්‍රාමයේ මුල් පදිංචි කරුවන් පවසන්නේ තම ඉඩම් ආපසු ලබා දීමට ජනාධිපතිවරයා වහාම මැදිහත් විය යුතු බවයි.

ගුවන් හමුදාව අල්ලාගෙන සිටින පිලව්කුඩියිරුප්පු ඉඩම් ඉල්ලා දින හතරක් පුරාවට විරෝධතාවයේ නිරතව සිටි පනස් වියැති අයෙක් සිහි සුන්ව ඇද වැටීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

මානික්කම් ගනේෂන් මේ වන විට මුලතිව් මාංචෝලෙයි රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ.

unnamed

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

තවත් විරෝධතාවක් :
මේ අතර යුද හමුදාව විසින් වාඩි ලා සිටින තමන්ට අයත් ඉඩම් වලින් වහාම ඉවත් වන ලෙස බලකරමින් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී තවත් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

පුදුකුඩිඉරිප්පු ප්‍රෙද්ශයේ පවුල් 49 ට අයත් ඉඩම් අක්කර 19 ක් නිදහස් කරන ලෙස ඉල්ලමින් එම විරෝධතාවයේ ආරම්භ කර ඇත්තේ 03 සිකුරාදා උදෑසනය.

වසර 60ක පමණ කාලයක් තමන් පදිංචිව සිටි භුමියෙන් යුද්ධය හේතුවෙන් ඉවත් වීමට සිදුවු අතර යුද්ධය නිමාවීමෙන් පසු  2011 වසරේ ආපසු තම ගම් බිම් වලට පැමිණියත් රජයේ හමුදාව විසින් තම ඉඩම් අත්පත් කරගෙන සිටින බව එම ජනතාව පවසති.

2011 වසරේ සිට තම ඥාතීන්ගේ නිවෙස් වල දිවි ගෙවන පවුල් 49 ට අයත් වැසියන් සදහන් කරන්නේ මුලතිව් ප්‍රදේශයේ බොහෝමයක් ඉඩම් නිදහස් කිරීමට රජය කටයුතු කළත් තමන්ට අයත් ඉඩම් නිදහස් කිරීමට මේ වන තෙක් පියවර ගෙන නොමැති බවයි.

එම ජනතාව පවසන පරිදි යුද හමුදාව වාඩි ලා සිටින එම ඉඩම් පිහිටා ඇත්තේ මුලතිව් නගර මධ්‍යයේය.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top