nsb

Feb 04, 2017

රවී මාරුවෙන් ජාතික ලොතරැයියට කෝටි 300ක් පාඩුයි Featured

ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්තා අනුව 2017 ජනවාරි මාසයේ පමණක් මණ්ඩලය ලැබූ අලාභය රුපියල් කෝටි 300 ඉක්මවන බව එහි සේවකයන් පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් එක් දිනකට ලොතරැයි මණ්ඩලයේ ගබඩාවෙන් ටිකට්පත් ලක්ෂ 30 - 40 අතර ප්‍රමාණයක් නිකුත් කළ ද පසුගිය දිනවල ලොතරැයි මිල සම්බන්ධයෙන් වූ අර්බුදයත් සමඟ දිනකට ලොතරැයිපත් ලක්ෂ 4 - 5 දක්වා ශීඝ්‍ර ලෙස අඩු වී ඇත.

මෙලෙස දිනෙන් දින කඩාවැටෙන ජාතික ලොතරැයි මණ්ඩලය මෙම තත්ත්වයට පත් වූයේ වත්මන් සභාපතිනියගේ අත්තනෝමතික වැඩපිළිවෙළ මෙන්ම දේශපාලන පත්වීමක් ලබා අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙක් ලෙස සේවය කරනු ලබන පුද්ගලයකු විසින් ගන්නා ලබන කැකිල්ලේ තීන්දු තීරණ නිසා බවත් සේවකයන් පවසයි.


අතිරේක සාමාන්‍යාධිකාරිවරයා :


මාස 18 ක පමණ වූ සේවා කාලයක් ඇති මෙම අතිරේක සාමාන්‍යාධිකාරිවරයා විසින් මණ්ඩලයේ හොඳම සේවකයා තේරීමේ තරගයක් අත්තිඩිය ඊගල් රිසෝට් හෝටලයේ පවත්වා ඇති අතර ඒ සඳහා මණ්ඩලය මිලියන 22 කට අධික වියදමක් දරා ඇත.

මෙම තරගය ඔහුගේ අධීක්ෂණය සහ මෙහෙයවීමෙන් පවත්වා ඇති අතර මෙහි දී විවිධ අංශයන්ගෙන් සම්මාන සහ මුදල් ත්‍යාග ලබා දී ඇත.

මෙහි දී මණ්ඩලයේ හොඳම සේවකයාට හිමි සම්මානය සහ රු. ලක්ෂ 05 ත්‍යාගය මෙහි ප්‍රධාන සංවිධායකයා වූ අතිරේක සාමාන්‍යාධිකාරිවරයාටම හිමි වීම හාස්‍යයට කරුණකි.

දේශපාලන හිතවත්කම් අනුව මෙම තේරීම් සිදු කර තිබීම නිසාම වසර 15 - 20 කට අධික කාලයක් පුරා කැපවීමෙන් සේවය කරනු ලබන සේවක පිරිස් මහත් කලකිරීමකට ලක්ව සිටී.


සභාපතිනියටත් චෝදනා :


මෙම සියලු අක්‍රමිකතා සඳහා ඍජුවම වත්මන් සභාපතිනිය වගකිවයුතු බවත් ඇය වහා ඉවත් කර නව සභාපතිවරයකු පත් කිරීම මෙය ගොඩ ගැනීමට ඇති එකම විසඳුම බවත් දන්වා මණ්ඩලයේ සේවක සංගම් විසින් ජනාධිපති, අගමැති සහ මුදල් ඇමැති යන සියලු පාර්ශ්ව වෙත ලිඛිතව දන්වා ඇත.

2016 වසරේ බිලියන 20 ඉක්මවා ලොතරැයි අලෙවි කරමින් ඉහළ ආදායමක් උපයන ලද මණ්ඩලය  අද වන විට දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ පා තිබීම නිසා මණ්ඩලය මඟින් මුදල් ලබා දෙනු ලබන කෘෂිකර්ම අමාත්‍යාංශය, යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, රණවිරු සේවා අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වකුගඩු නිවාරණ අරමුදල, මුදල් අමාත්‍යාංශය ආදී බාහිර ආයතනවලට මෙන්ම මණ්ඩලයේ සේවක වැටුප් දීමනා, ලොතරැයිපත් අලෙවි කරනු ලබන ආබාධිත පුද්ගලයන් සඳහා වූ ගෙවීම්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය අලෙවි නියෝජිතයන්ට ත්‍යාග මුදල් සඳහා ගෙවීම් වැනි දෛනික ආදායමෙන් සිදු කරනු ලබන ගෙවීම් පියවාගත නොහැකිව ඇති බවත් වාර්තා වේ.


ටිකට්‌ වලින් 10% ක්‌ ඉතිරි වෙලා


මෙම අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික ලොතරැයි මණ්‌ඩලයේ සභාපතිනි ෂර්මිලා පෙරේරා මහත්මිය පවසන්නේ, රුපියල් 30 ට පැවැති ලොතරැයි ටිකට්‌ පතක මිල රුපියල් 20 දක්‌වා නැවත අඩු කිරීම නිසා රුපියල් 30 ට මුද්‍රණය කර වෙළෙඳ පොළට නිකුත් කළ ලොතරැයි ටිකට්‌ පත් වලින් 10% කට පමණ ප්‍රමාණයක්‌ ඉතිරි වී ඇති බවයි.

වෙළෙඳ පොළට නිකුත් කරන සියලුම ටිකට්‌ පත් අලෙවි නොවන බවත් යම් ප්‍රතිශතයක්‌ ඉතිරි වන බවත් පවසන සභාපතිවරිය, රුපියල් 30 දක්‌වා වැඩිකර වෙළෙඳ පොළට නිකුත් කළ ටිකට්‌ පත් වලින් 10% පමණ ප්‍රමාණයක්‌ ඉතිරි වීමට අලෙවි නියෝජිතවරුන් රට පුරා ගෙන ගිය වැඩ වර්ජනය හේතු වූ බවද ඇය වැඩිදුරටත් කියා සිටියි. 

 
ශර්මිලා පත් කළේ රවී - හංසයා ශර්මිලාගේ 
 
ශර්මිලා පෙරේරා මහත්මිය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරිය ලෙස පත්කරනු ලැබුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසිනි.
 
ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරගවැදුන හංසයා ලකුණින් යුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හිමිකාරිය වන්නේ ද ශර්මිලා මහත්මියයි.
 
එයට, කෘතගුණ සැලැකීමට ශර්මිලාට අදාළ සභාපති ධූරය ලබාදී ඇති බව පැවසේ.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top