nsb

Feb 04, 2017

බැඳුම්කර ආයෝජන ගැන බුද්ධි අංශ විමර්ශන Featured

බැඳුම්කර ගනුදෙනුව හරහා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම උපයාගත් මුදල් මෙරට විද්‍යුත් නාලිකාවල ආයෝජනය කර තිබේද යන්න සම්බන්ධව රාජ්‍ය බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් සිදු කළ දැනුම්දීමකට අනුව මෙම බුද්ධි විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සඳහා විශේෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බවත් ඔවුන් මේ වන විටත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හෝ ඔවුන් විසින් හඳුන්වා දී ඇති ආයෝජකයින් මුදල් යොදවා ඇති බවට සැක කරන විශාල ප්‍රමාණයේ වැටුප් පැකේජ පිරිනමමින් ජනප්‍රිය නිවේදක නිවේදිකාවන් සේවයට එක්කර ගනිමින් සිටින විද්‍යුත් මාධ්‍ය කිහිපයක් මුල් කරගෙන විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා මෙම විමර්ශන වාර්තාව කැඳවා තිබෙන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව පත්කර ඇති කොමිසම විමර්ශන කටයුතු ආරම්භ කිරීමට පෙර සිය ප්‍රාග්ධනය යොදවා විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක් මිලදී ගැනීමටත් ඒ හරහා අදාළ ජනාධිපති කොමිසමේ විමර්ශන අඩපණ කිරීමේ සූදානමකුත් ඇති බවට දිගින් දිගටම ලැබෙමින් ඇති පැමිණිලිවලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්ය.

මේ අතර මහ බැංකුව සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අතර සිදු වූ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ .ටී. චිත්‍රසිරි, පී. එස්. ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ. වේලූපිල්ලෙයි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ජනාධිපති කොමිසම පසුගිය දා නම් කෙරුණු අතර කිසිදු බලපෑමකට නතු නොවී අදාළ සිදුවීම සම්බන්ධ ස්වාධීන වාර්තාවක් පමණක් තමන් අපේක්ෂා කරන බවට ජනාධිපතිවරයා එම කොමිෂන් සාමාජිකයින් වෙත දැනුම් දී ඇති බවත් ස්වාධීනව කාර්ය සිදු කිරීමට නොහැකි වන ලෙස යම්කිසි හෝ බලපෑමක් සිදු වුවහොත් ඒ සම්බන්ධව තමන් දැනුවත් කරන ලෙස ද එහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top