nsb

Feb 05, 2017

කළු සල්ලි සුදු කරන කැබිනට් පත්‍රිකාවක් නීතිපතිට Featured

මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මහාමාර්ග 11 ක් සඳහා අතිරේක ගෙවීම් ලෙස රුපියල් මිලියන 400ක මුදලක් අනුමත කර ගැනීමට ගත් උත්සාහය ඇමැති මණ්ඩලයේ විරෝධය හමුවේ ජනාධිපතිවරයා විසින් තාවකාලිකව අත්හිටුවා ඇත.

එමෙන්ම එම ගෙවීම සිදු කළ යුතුද නැද්ද යන්න විමසීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කොට තිබේ.

රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි සුදු කරන සමාගමක් බවට චෝදනා එල්ල වී තිබෙන ආර්. ඇන්ඩ් ජේ. කොන්ත්‍රාත් සමාගමට මෙම ගෙවීම් කිරීමට නියමිතව තිබිණි.

මෙම කොන්ත්‍රාත් සමාගම හිමි ජගත් හේමන්ත මහතා පසුගිය රාජපක්ෂ සමයේ දී රජයේ මහා පරිමාණ කොන්ත්‍රාත් රැසක් අත්පත් කර ගත් පුද්ගලයකු වන අතර එම ගනුදෙනු බරපතළ සැකයට තුඩුව තිබේ.

ටෙන්ඩර් පටිපාටියකින් තොරව:

මෙම මාර්ග 11 සම්බන්ධයෙන් ද මේ වන විට හෙළිව ඇත්තේ නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව හිතවත්කම මත ලබා දී ඇති බවය.

එම හේතුව මත මෙම ගෙවීම් සිදු කළ නොහැකි බව රාජිත සේනාරත්න මහතා පෙන්වා දී තිබේ.

පසුගිය ඇමැති මණ්ඩල රැස්වීමේ දී ද මෙම සමාගමට මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් නව ටෙන්ඩරයක් අනුමත කර ගැනීමේ උත්සාහයක් ද ක්‍රියාත්මකව තිබුණු අතර එය ද අත්හිටවනු ලැබීය.

මෙවර ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාව අනුව මෙම සමාගමට අතිරේකව ගෙවීමට තිබූ මුදල සමස්ත ව්‍යාපෘති ඇස්තමේන්තුවෙන් සියයට 33ක් තරම් ඉහළ අනුපාතයක් ගෙන තිබිණි.

මේ අතර සරත් අමුණුගම ඇමැතිවරයා ද පවසා තිබුණේ මෙය අනුමත කළ නොහැකි බවය.

10 % ක් ප්‍රභූ පුත්‍රයකුගේ ගිණුමට:

එසේම දයාසිරි ජයසේකර ඇමැතිවරයා මෙම කොන්ත්‍රාත් සමාගම ලබන ආදායමෙන් සියයට 10 ක් ප්‍රභූ දේශපාලන පුත්‍රයකුගේ ගිණුමට බැර වන බව ද පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා මෙම චෝදනාවන්ට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ මෙම කොන්ත්‍රාත්කරුවා සමඟ තමන්ගේ සම්බන්ධයක් නොමැති බවත් දැන් චෝදනා කරන පසුගිය ආණ්ඩු සමයේ ශ්‍රීලනිප ඇමැතිවරුන් ඔහු සමඟ මිත්‍රව සිටියත් දැන් තරහ වී ඇති නිසා චෝදනා නඟන බවත් ය.

(සුභාෂ් ජයවර්ධන)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top