Feb 05, 2017

විදේශ අමාත්‍යාංශයේ කෑල්ලක් මාතරට

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ ස්ථාපිත කිරීමට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පියවර ගෙන ඇත.

කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පිහිටා ඇති කොන්සියුලර් කාර්යාලයෙන් පමණක් මහජනයාට සැපයූ කොන්සියුලර් සේවා රැසක්, ඉදිරියේ දී මෙම ප්‍රාදේශීය කාර්යාලය මඟින් සැපයීමට නියමිතව තිබේ.

විදේශ රටවල දී භාවිත කිරීම සඳහා අවශ්‍ය වන උප්පැන්න, මරණ සහ විවාහ මෙන්ම අධ්‍යාපන සහතික ස්ථාපනය කිරීම, විදේශ රටවල දී අතරමං වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය සහාය ලබා දීම, සංක්‍රමණික සේවකයන්ගේ පවුල්වලට වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සහ විදේශ රටවල දී මිය යන ශ්‍රී ලාංකිකයන්ගේ මෘතදේහ මෙරටට ගෙන්වා ගැනීම ආදී සේවා මෙම ප්‍රාදේශීය කාර්යාලය මඟින් සලසනු ඇත.

යාපනය කාර්යාලය :

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව, උතුරේ ජනතාවට ලබා දෙන සේවය වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් පසුගිය 26 දා යාපනයේ දී විවෘත කෙරිණ.

සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල පෙ.ව. 08.00 සිට ප.ව. 04.15 දක්වා මෙම කාර්යාලය විවෘතව පවතිනු ඇත. කෙසේ නමුත් යාපනයේ කොන්සියුලර් කාර්යාලයක් විවෘත කිරීමට විදේශ අමාත්‍යාංශය ගත් පියවර ඒකාබද්ධ විපක්ෂයේ විවේචනයට ලක් විය.

පටු අදහස් දැක්වීමක් :

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා උතුරේ ජනතාවට විදේශ අමාත්‍යාංශය සමඟ ඍජුව සම්බන්ධතා පවත්වාගත හැකි තත්ත්වයක් තිබිය දී කොන්සියුලර් කාර්යාලයක් යාපනයේ විවෘත කළේ කුමන පදනමකින්දැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව පසුගිය දා පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

සම්ප්‍රදාය කඩ කරමින් විදේශ අමාත්‍යවරයා විසින් මෙවැනි ක්‍රියාවක් සිදු කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.

මෙම ප්‍රශ්න කිරීම ජාතිවාදී පදනමින් සිදු කෙරුණ පටු අදහස් දැක්වීමක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

(ඩී. මංජුල කුමාර)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top