Sathosa Ad Final Sinhala
Pasidol
15976 BM WEB BANNER 01
Feb 05, 2017

සොරගුණේ දේවාලයේ ඉඩම් කොල්ලයක් !

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සොරගුණේ කතරගම දේවාලයේ වැඩ රාජකාරිවලට යටත්ව හිමිව ඇති ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් දේවාලයේ බස්නායක නිලමේ විසින් බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව සින්නක්කර හා බදු වශයෙන් විවිධ පුද්ගලයන්ට ලබා දී ඇත.

ඉඩමක අයිතිකරුවකු ඉඩමක් විකුණා අයිතිය නව ගැනුම්කරුවකුට පැවරීමේ දී ඉඩම අයිති දේවාලයේ රාජකාරි නිවැරැදිව ඉටුකර ඇති බවටත් එම ඉඩම පැවරීම පිළිබඳ දේවාලයේ විරුද්ධත්වයක් නොමැති බවටත් බස්නායක නිලමේ විසින් නිර්දේශයක් බෞද්ධ කටයුතූ අමාත්‍යාංශයේ රත්නපුර කාර්යාලයට ලබා දිය යුතුය.

ඉන්පසු රත්නපුර සහකාර බෞද්ධ කොමසාරිස් විසින් එම ඉඩම නව අයිතිකරුට පැවරීමේ නිර්දේශය බදුල්ල ඉඩම් කාර්යාලයට ලබා දීමෙන් පසුව පමණක් එම ඉඩම නව අයිතිකරුගේ නමින් ලියාපදිංචි කෙරේ.

නමුත් වසර ගණනක සිට බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ නොමැතිව බස්නායක නිලමේගේ නිර්දේශය මත පමණක් ඉඩම් නව අයිතිකරුගේ නමින් ලියාපදිංචි කර ඇත. මෑතක දී ලියාපදිංචි කළ ඔප්පු පරීක්ෂා කිරීමෙන් මෙම වංචාවන් හෙළි කරගත හැකි වේ.

නීත්‍යනුකූල ඔප්පු නැ :

හල්දුම්මුල්ල සොරගුණේ පිහිටි කුඩා කතරගම දේවාලයට අයත් යැයි කියන ඉඩම් අක්කර දහස් ගණනක් තිබුණ ද ඉඩම් නිසි අයුරු මිනුම්ගත කර ඒවාට වෙන් වෙන්ව පිඹුරු සකස් කර නිවැරැදි ක්‍රමවේදයකට විනිවිදභාවයකින් යුතුව පුද්ගලයන්ට නීත්‍යනුකූල ඔප්පු මඟින් පවරාදීමක් කර නැත.

මෙම ඉඩම්වල නිවැරැදි විස්තරයක් බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ හෝ සොරගුණේ දේවාල කාර්යාලයේ නොමැත.

මේ අඩුපාඩුව තම වාසියට හරවාගත් හිටපු බස්නායක නිලමේ මු. පත්මසේන හා වත්මන් බස්නායක නිලමේ වන ඔහුගේ පුත් ජනක රවින්ද්‍ර කලුපහන විසින් මෙම ඉඩම් සම්බන්ධයෙන් දූෂිත ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු රැසක් හෙළිව තිබේ.

කෙසේ නමුත් නීතිය පිළිබඳ දැනුමක් ඇති ඇමැති විජේදාස රාජපක්ෂ හා බෞද්ධ කොමසාරිස් ද මේ පිළිබඳව කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීම ද ගැටලුසහගත තත්ත්වයකි.

(ඩී. මංජුල කුමාර)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top