nsb

Feb 05, 2017

ගෝඨාට එරෙහි විමර්ශන ගැන රාජිත කනස්සල්ලෙන් Featured

රාජපක්ෂ පාලනයේ සිදුවූ මහා පරිමාන වංචා සහ දුෂණ පිළිබදව පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන මන්දගාමී ස්වභාවය හේතුවෙන් රජය බරපතල අපවාදයට ලක්ව ඇති බවත්, විශේෂයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ මිග් ප්‍රහාරක යානා ගණුදෙනුව පිලිබඳ සිදුකෙරෙන විමර්ශනවල පැහැදිලි ප්‍රගතියක් දක්නට නොලැබීම සැකකටයුතු බවත් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමත්‍ය දොස්ත රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමතිවරයා එබව පැවසුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දීය.

ඩුබායි බැංකු ගිණුම් පිළිබදව, රගර් ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය ඇතුලු මහාපරිමාන දුෂණ හා වංචා ගැන පරීක්ෂණ ද කඩිනම් කලයුතු බව පැවසු ඇමතිවරයා, '' සුළු සිද්ධින් පිළිබදව පරික්ෂණ පැවැත්වීමෙන් රජයට අපවාදයක් එල්ල වී තිඛෙනවා. එම නිසා යහපාලනය ආරක්ෂා කිරීමේ වගකීමක් අපට පැවැරී තිඛෙනවා. '' යයි කියා සිටියේය.

''ඇතැම් නිලධාරීන් නිසි පරිදි රජකාරී සිදු කරන්නේ නැහැ. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපට බැහැ. කෙසේ වෙතත් කඩිනමින් පරික්ෂණ සිදු කළ යුතු බව මාගේ අදහසයි.” යැයි ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

අවසර ලැබෙන තෙක් FCID සීරුවෙන් :

කෙසේවුවද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ (FCID) ආරංචි මාර්ග පවසන්නේ, 2006 වර්ෂයේදී සිදුවූ බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 14ක මිග් යානා ගනුදෙනුව පිළිබඳව වන චෝදනා සම්බන්ධයෙන් වූ විමර්ශනයේ පරීක්ෂණ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවයි.

එම විමර්ශනවලට අදාලව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, ඒ සඳහා දේශපාලන අධිකාරියෙන් අවසර ලැබෙන තුරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සූදානමින් සිටින බවත් එම ආරංචි මාර්ග පැවසීය.

මී‍ට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබුණේ වංචා දූෂණ සම්බන්ධයෙන් ආරක්ෂක අංශයේ හිටපු හෝ සිටින සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පෙර තමාව දැනුවත් කරන ලෙසයි.

මුල් පිටපත අස්ථානගතයි :

මේ අතර මිග් යානා ගනුදෙනුවට අදාළව චෝදනා එල්ල වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා කටයුතු කරමින් සිටින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙකු විසින් පසුගියදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දෙනු ලැබුවේය.

එලෙස දැනුම්දෙනු ලැබුවේ මිග් යානා ගනුදෙනුවේ නඩුව කැඳවීම සම්බන්ධයෙන් දිනයක් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද ඉල්ලීමක් අධිකරණය විසින් සලකා බැලූ අවස්ථාවේදීය.

හිටපු තානාපති වීරතුංග මහතා මේ වනවිට එක්සත් අරාබි රාජ්‍යයේ සිටින බවද විමර්ශනවලදී තහවුරු වී ඇති බවද පදිංචි ලිපිනය පිළිබඳ තහවුරු කරගැනීමක් සිදුකරගැනීමට තවමත් නොහැකිවූ බවද එම නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් වන මුල්පිටපත මේ වනවිට අස්ථානගත වී ඇති බවද අස්ථානගත වීම පිළිබඳ විමර්ශන ගුවන් හමුදාවේ බලධාරින් සමඟ ආරම්භ කර ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ පැවසුවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top