nsb

Feb 06, 2017

මහේන්ද්‍රන් ලක්ෂ 660ක් 163ත් වතාවකදී හොරා කාලා

මහ බැංකුවේ හිටපු අධිපතිවරයා විසින් ඔහුගේ ධුර කාලය තූළ වාර 163 කදී කරන ලද රුපියල් හය කෝටි හය ලක්ෂයක මුදල් වංචාවන් පිළිබඳ විගණන වාර්තා හෙළි කරන බව 'දූෂණ විරෝධී හඬ' සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

මෙකී විගණන පරික්ෂණය කර ඇත්තේ ඉකුත් අගෝස්තු මාසයේ වුවත් මේ වන තුරුත් වත්මන් මහ බැංකු අධිපතිවරයා හෝ රජයේ වෙනත් වග කිව යුතු පාර්ශවයක් කිසිදු පියවරක් ගෙන නැතැයි ද ඒ මහතා පවසයි.

ලක්ෂ 20ක යුරෝපීය ඇඳුමක් :

මහ බැංකු අධිපතිවරයෙකු ලෙස කටයුතු කරන්නේකුට කෙඩිට්කාඩි ගණුදෙණු සඳහා හිමි මුදල් ප්‍රමාණයද අතික්‍රමණය කරමින් ඔහු මෙම මුදල් භාවිතය සිදු කර ඇති අතර අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සිටි සමයේ ප්‍රසිද්ධ මිලදීගැනීමක් වූ ලක්ෂ 20ක් වටිනා යුරෝපීය ඇඳුම මිලදී ගෙන ඇති ආකාරයද මෙම විගණන වාර්තාවෙන් එළියට පැමිණ තිබේ.

ඔහු එක් ඉන්දීය සමුළුවකට සහභාගී වූ අවස්ථාවක නවාතැන් පහසුකම් සඳහා එකම දිනයේ හෝටල් දෙකක බිල් ඉදිරිපත් කර තිබීමද විශේෂත්වයකි.

ඔහු සිය ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදී මාසික ක්‍රෙඩිට් කාඩි වියදම්වල සාමාන්‍ය ඉතා ඉහළ අගයක් වීම, ගෙවීම් සම්බන්ධයේන ඉන්වොයිස් නොතිබීම, අත්තිකාරම් පියවීම සඳහා පිළිගත නොහැකි ඉන්වොයිස් ඉදිරිපත් කිරීම, නිල වියදම් සඳහා විගණන සාක්ෂි නොතිබීම, පෞද්ගලික වියදම් පියවීම සඳහා ප්‍රමාද වීම, සිංගප්පූරූවේ දරන ලද පෞද්ගලික වියදම් නොපියවීම, පෞද්ගලික වියදම් සඳහා ගෙනෙන ලද මුද්දර ගාස්තු නොපියවීම, ක්‍රෙඩිට් කාඩ් පත සීමා ඉක්මවීම නිසා ගාස්තු ගෙවීම, අදාළ නොමැති වියදම් නිල වියදම් ලෙස සැලකීම, මිලදී ගැනීමේ ක්‍රියාමාර්ගයේදී මහ බැංකු නීති උල්ලංඝනය කිරිම, අධිපති නිල නිවසට ඉතා ආසන්න වෙනත් නවාතැන්වල සිටීම, ස්ථාවර ප්‍රාග්ධන නිසි ආකාරව ගිණුම් ගත නොකිරිම සහ භෞතිකව නොතිබීම, පරස්පර විරෝධී අගයන් වාර්තා වීම, මුදල් පියවීම සඳහා එකිනෙකට වෙනස් තොරතුරු සැපයීම, සුරාබදු නීති රීති උල්ලංඝණය කිරීම ආදිය සිදු කර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

අක්‍රමිකතා රැසක් :

එමෙන්ම ඔහුගේ විදේශ ගමන්වලදී මහ බැංකුවේ ගමන් දීමනා නීති - iii ලඝුව උල්ලංගණය කිරීම, එකම දිනයක එක හෝටලයකට වඩා වැඩි බිල්පත් ඉදිරිපත් කිරීම, නික්ම යාම/ගොඩබැසීම දිනයන් හි පරස්පර විරෝධී තත්වයන් තිබීම, හෝටල් වෙන් කිරීම සහ ගමන් බිලපත් පරස්පර විරෝධී තත්වයන් තිබීම, හොටල් වෙන් කිරීම සහ ගමන් බිල්පත් අත්හිටුවීමේදී විගණනයට සාක්ෂි නොතිබීම, විදේශ සංචාර නිතර අත්හිටුවීම, වැඩිපුර අමුත්තන් සඳහා නවාතැන් වෙන් කිරීම, අධික ගෙවීම් කිරීම ආදී  අක්‍රමිකතා සිදු කර තිබේ.

එමෙන්ම හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ සංග්‍රහ කිරීම්වලදී අත්තිකාරම් පියවීම පිළිබඳ චක්‍රෙල්ඛණ උල්ලංගණය කිරීම, පියවීම් ලේඛණ ලබා දීමේ ප්‍රමාද දෝෂ, අත්තිකාරම් පාවිච්චි කිරීමේ අනුපාතය, අවසාන ඉන්වොයිස් තිබියදීත් අත්තිකාරම් ලබා ගැනීම ආදී අක්‍රමිකතා සිදුව ඇත.

තක්කඩි හොරෙක් :

මෙවැනි බරපතල අක්‍රමිකත, වංචා දූෂණ නිසා රුපියල් හැටහයකෝටි දෙලක්ෂ අසූදහස් හයසිය දහසයක (රු. 66280616) මහජන මුදලක් අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් විනාශ කර ඇති බව එම අභ්‍යන්තර විගණන වාර්තාවෙන් හෙළි දරුව් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කර සිටියේ තක්කඩි හොරෙකු ලෙස මහජන මුදල් බරපතල ලෙසම විනාශ කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව තමන් නුදුරේදීම දූෂණ මර්ධණ කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කිරීමට කටයුතු කරන බවය.


(lankatruth)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top