Feb 07, 2017

'අර්ජුන්ට එරෙහිව වහා නීති පියවර ගත යුතුයි' Featured

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් රු. මිලියන 662 ක්‌ අයථා ලෙස පරිහරණය කර ඇති බව මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තා මගින් හෙළිදරව් වී ඇති බවද ඒ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කර දඬුවම් පැමිණවීම අත්‍යවශ්‍ය බවද ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (6 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.


නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම එම අවභාවිත කළ මුදල් අර්ජුන මහේන්ද්‍රන්ගෙන් අයකර ගත යුතු බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

වත්මන් මහ බැංකු අධිපති නිහඬයි :
මෙම රු. මිලියන 662 ක මුදල් අවභාවිතාවට වගකිව යුතු හිටපු අධිපතිවරයාට එරෙහිව වත්මන් මහ බැංකු අධිපතිවරයා ද තවමත් කිසිවක්‌ සිදුකර නැතැයි වාර්තා වේ.

වත්මන් මහ බැංකු අධිපතිවරයා ද එම විගණන වාර්තාවලින් හෙළිදරව් වී ඇති අක්‍රමිකතා ගැන කිසිදු පියවරක්‌ නොගැනීම බරපතළ ප්‍රශ්නයක්‌ යෑයි මහ බැංකු උසස්‌ නිලධාරීහු පවසති. 

හිටපු මහ බැංකු අධිපතිගේ විදේශ ගමන් වියදම් සහ අනෙකුත් වියදම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් 2015 පෙබරවාරි 01 දින සිට 2016 ජුලි 10 දින දක්‌වා කාලයට අදාළව මේ විගණනය සිදු කර තිබේ.

මහ බැංකුවේ ලේකම් දෙපාර්තමේන්තුව, මූල්‍ය දෙපාර්තමේන්තුව, මානව සම්පත් දෙපාර්තමේන්තුව සහ සන්නිවේදන දෙපාර්තමේන්තුවලට අදාළ මේ විගණනය සිදුකර තිබේ.

හිටපු මහ බැංකු අධිපතිවරයාගේ විදේශ ගමන් පිළිබඳ අඩුපාඩු, ක්‍රෙඩිට්‌ කාඩ් ගෙවීම් පිළිබඳ අඩුපාඩු, අධිපතිගේ සංග්‍රහ කිරීම්වලදී සිදුව ඇති අඩුපාඩු සහ සාමාන්‍ය කාර්යාල වියදම පියවද්දී සිදුව ඇති අඩුපාඩු යනාදී අක්‍රමිකතා තුළින් මේ අති විශාල මූල්‍ය පාඩුව ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුව ඇතැයි එම මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තා හෙළිදරව් කරයි.

මාධ්‍ය කටයුතු පිටස්‌තර අයට :
එසේම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා, මහ බැංකුවෙන් මුදල් ගෙවා ඔහුගේ පුද්ගලික ප්‍රචාරක කටයුතු පිටස්‌තර අයට පැවරීම ගැනත් එසේ පැවරීමේ කටයුතු හරහා නීතිමය අවශ්‍යතාවන්ට පටහැනිව ක්‍රියාමාර්ග ගැනීම ගැනත් මෙම විගණන වාර්තාවලින් හෙළි වී තිබේ.

එසේම, පවිත්‍රතා කටයුතු ගැන ප්‍රසිද්ධියක්‌ උසුලන අබාන්ස්‌ සමාගමත් මහ බැංකුවේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගත් බව මහ බැංකුවේ විගණන වාර්තාවල දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top