15976 BM WEB BANNER 01
Feb 07, 2017

'දිවයින' පුවත පට්ටපල් බොරුවක්

"ජිනීවා යෝජනා සාකච්ඡාවට සුසිල් ඇමරිකාවට" යන ප්‍රධාන සිරස්තලය යටතේ ඊයේ (06)  'දිවයින' පුවත්පතේ පළවූ පුවත මුළුමනින්ම අසත්‍යයක් බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ මාධ්‍ය ලේකම් මහේෂ් සමරසේකර මහතා නිල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දිවයින පුවත්පතෙහි පළ වු උක්ත සිරස්තල මත පදනම් වූ පුවත, බොහෝ විද්‍යුත් මාධ්‍ය පුවත් සිරස්තල ප්‍රකාශයන්හිද ප්‍රකාශයට පත් කළේය.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගේ නිවේදනයට අනුව සත්‍ය කතාව මෙසේය.

2016 වසරේ සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ දී පවත්වනු ලැබූ  සමාජ මෙහෙවර උදෙසා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ (STS Forum) ජාත්‍යන්තර සමුළුවේ ප්‍රතිඵලයක් ලෙසින් මේ වන විට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය  සුසිල් ප්‍රේමජයන්ත ට සිය අමාත්‍යාංශයේ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් සඳහා ආරාධනා රැසක් ලැබී තිබේ.

 විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් ජාත්‍යන්තර ගිවිසුම් රැසකට ඇමැතිවරයා විසින් අත්සන් කිරීම ද පසුගිය කාලය පුරාවට සිදු විය.

න්‍යෂ්ටික පර්යේෂණ පිළිබඳ යුරෝපීය ආයතනය වන CERN සහ ශ්‍රී ලංකාව අතර ‘අංශු තත්වාරක භෞතික  විද්‍යාවට‘ (Accelerated Particle Physics) අදාළව ද්විපාර්ශවික ගිවිසුමකට අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා  සම්බන්ධීකරණ කටයුතු සිදු වීමෙන් අනතුරුව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අදාළ ඇමරිකාවේ නිල කටයුත්තක් සිදුකිරීමෙන් පසුව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය  සුසිල් ප්‍රේමජයන්ත  ස්විට්සර්ලන්තයේ ජිනීවාහී CERN බලා පිටත් වීමට නියමිතය.

CERN ආයතනය සමඟ මෙම අමාත්‍යාංශයේ විෂය ක්ෂේත්‍රය සඳහා වන ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම හැරුනු කොට පසුගිය කාලය පුරාවටම මෙරටෙහි බොහෝ ආන්දෝලනයන්ට තුඩු දුන් ජිනීවා යෝජනා සම්බන්ධ කිසිදු පෞද්ගලික හෝ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජාවකට ඇමරිකාවේ දී හෝ ජිනිවාහි දී  අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී නොවන බව ඉතා වගකීමෙන් යුතුව පවසන්නේ යයි ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් වරයා වැඩිදුරටත් පවසයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top