Feb 07, 2017

සයිටම් වෙඩිල්ල ගැන සැකයක් ! Featured

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සහ එහි ශික්ෂන රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී දොස්තර සමීර සේනාරත්න මහතා වාහනයට ඊයේ (06) රාත්‍රී එල්ලවූ වෙඩි ප්‍රහාරය සැකකටයුතු බව ඒ සම්බන්ධයෙන් අද දින සිදුකරනු ලැබූ විමර්ශනවලදී පෙනී ගොස් ඇතැයි පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

එය වෙඩි තබා ගැනීමක් බවට සැකකෙරෙන බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

ඊයේ (06) සිදුවූ මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අද (07) පැවති මාධ්‍ය හමු කිහිපයකදී විවිධ අදහස් පළවිය.

ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්:

මෙම වෙඩි තැබීම සයිටම් විරෝධි සටන අඩපන කිරීම සඳහා කෙරුණු ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් විය හැකි බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය පැවසුවේය.

“මෙම වෙඩි තැබීම අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. එවැනි දේවල් අවශ්‍ය නැහැ. මේ සටන දියාරු කිරීමේ කුමන්ත්‍රණයක් හැටියටයි අපි ඒක දකින්නේ. මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේවාවලට රැවටෙන්න එපා කියලයි.” යනුවෙන් එහි කැදවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක්:

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි තරුණ පෙරමුණේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ මෙම වෙඩි තැබීම ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් විය හැකි බවයි.

මේ අතර වෙඩි තැබීමට ඉලක්ක වූ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සමීර සේනාරත්න පැවසුවේ මෙම වෙඩි තැබීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි බවයි.

සයිටම් ආයතනය විසින් කැදවූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු වැඩි දුරටත් මෙසේද පැවසිය.

“ආණ්ඩුව අඩපණ කිරීමේ ක්‍රියාවලියට දඩමීමා කරගෙන තියෙන්නෙ සයිටම් ආයතනයයි. වෙඩි තැබීම අපි විසින් කර ගත්තයි කියලා ලැබෙන වාසිය මොකක්ද?. මම දැක්කා ෆේස්බුක් එකෙත් තියෙනවා..මේක නාට්‍යක් කියලා. ඒ අය බලාගෙන ඉන්නෙ අපේ ජීවිත නැති වෙනකම්. එතකොට කියයි. අනිච්චාවත සංඛාරා.. අහෝ ඛේදයකි..වගේ දේවල්.”

දැඩි ක්‍රියාමාර්ග ගැනීමට:

මේ අතර සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රාජ්‍ය විශ්ව විද්‍යාල 08 ක වෛද්‍ය පීඨ සිසුන් මේ වනවිට සිය අධ්‍යයන කටයුතුවලින් බැහැර වී සිටිති.

ආණ්ඩුවේ ප්‍රතිචාරය අනුව ඉදිරියේදී ඊටත් වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට වුවද තමන් කටයුතු කරන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.

දොස්තර සමීර සේනාරත්න මහතාගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමට පෙර ඒවා තිබුනා යයි කියන පත්‍රීකාවක ජායා පිටපතක් පහත දැක්වේ.

sameera 600px

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top