nsb

Feb 08, 2017

සම්ප්‍රදාය කඩා මහ බැංකුවට නියෝජ්‍ය අධිපතිවරයෙක්! Featured

ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙතෙක්‌ පැවැති සම්ප්‍රදායන් කඩකරමින් මහ බැංකුව සඳහා පිටින් නියෝජ්‍ය අධිපතිවරයකු පත්කර ගැනීම සඳහා වන යෝජනාවක්‌ මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට ඉදිරිපත්ව තිබේ.

මෙය මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ අවශ්‍යතාව මත ඉදිරිපත්ව ඇති යෝජනාවක්‌ බවද මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කරයි.

මහ බැංකුවේ සිටින නිලධාරීන්ගෙන් බැහැරව පිටතින් පුද්ගලයෙකු මහ බැංකුව නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස පත් කර ගැනීමේ යෝජනාව මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතා විසින් බව මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

මෙතෙක්‌ පැවැති සම්ප්‍රදාය :
අත්දැකීම් සහ ජ්‍යෙෂ්ඨත්වය මත මහ බැංකුවේ දැනට සිටින සහකාර අධිපතිවරුන් අතුරින් නියෝජ්‍ය අධිපතිවරුන් පත් කර ගැනීම මෙතෙක්‌ පැවැති සම්ප්‍රදාය විය. 

එහෙත් මෙයට පිටින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මහ බැංකුවට පිටින් නියෝජ්‍ය අධිපතිවරයෙකු පත් කර ගැනීමට යෝජනාවක්‌ ඉදිරිපත් කිරීම, මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ කනස්‌සල්ලට හේතුවී ඇති බවද පැවසේ.

දැනට මහ බැංකුවේ සිටින නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනාගෙන් දෙනෙකු මේ වසරේ දී විශ්‍රාම යාමට නියමිත අතර ඒ අනුව පුරප්පාඩු වන නියෝජ්‍ය අධිපතිධුර දෙකෙන් එකක්‌ සඳහා මේ බාහිර පුද්ගලයා පත් කර ගැනීමට අපේක්‍ෂා කරන බවද කියති.

නියෝජ්‍ය අධිපති එස්‌. ලංකාතිලක මහතා අප්‍රේල් මාසයේදීද පී. සමරසිරි මහතා අගෝස්‌තු මාසයේදීද විශ්‍රාම ගැනීමට නියමිතය.

මහේන්ද්‍රන්ගේ සමරසිරි අයෙත් :
මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී අදාළ ටෙන්ඩර් මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා අගෝස්‌තු මාසයේ විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුව යළිත් පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය අධිපතිධුරයට පත් කර ගැනීමේ සැලසුමක්‌ ඇති බවටද මහ බැංකුව තුළ ආරංචි පැතිර ගොස්‌ ඇත.

බැඳුම්කර නිකුතුවේදී අදාළ ටෙන්ඩර් මණ්‌ඩලයේ සෙසු සාමාජිකයන්ගේ බහුතර මතයට පවා පටහැනිව පී. සමරසිරි මහතා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාව ආරක්‍ෂා කිරීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ නිසා ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු යළිත් නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කරළියට ගෙන ඒම සැලසුම් කිරීමට හේතුව බවද මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචිමාර්ගවලින් තවදුරටත් වාර්තාවේ.

කෙසේ නමුත් පිටින් නියෝජ්‍ය අධිපතිවරයකු පත් කර ගැනීමේ යෝජනාවට තවමත් මුදල් මණ්‌ඩලය තීරණයක්‌ ගෙන නොමැත.

(දිවයින)

(ඡායාරූප අනුග්‍රහය : දිනමිණ වෙබ් අඩවිය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top