Feb 08, 2017

වෙහිකල්ස් ලංකා වාහන ජාවාරමට කැබිනට් පත්‍රිකාවක්

පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් ගෙන්වා වාහන එකලස් කිරීමේ නියුතුයැයි සඳහන් ආන්දෝලනාත්මක වෙහිකල්ස් ලංකා පෞද්ගලික සමාගමට තවදුරටත් බදු සහන ලබාදීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් ජනවාරි 31 වැනිදා පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ඉදිරිපත් කරන ලද සංදේශයකට අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විරෝධය දැක්වීම නිසා ඒ පිළිබඳව සලකා බැලීම පසුවට කල් දමා ඇත.

මෙම කැබිනට් පත්‍රකාවෙන් මුදල් අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ වෙහිකල්ස් ලංකා සමාගම විසින් එකලස් කරන වාහන සඳහා 70%ක නිෂ්පාදන බදු කපා හැරීමක් ලබාදෙන ලෙසය.

 භාවිත නොකළ අලුත් අමතර කොටස් යොදා 30%ක දේශීය අගය එකතු කිරීමක් සිදුකර රට තුළ එකලස් කරන වාහන සඳහා 70%ක නිෂ්පාදන බදු සහනයක් ලැබෙන බව සඳහන් කර ඇති මුදල් ඇමතිවරයා පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් යොදවා වෙහිකල්ස් ලංකා සමාගම විසින් වාහන එකලස් කිරීමේදී ඔවුන්ට එම සහනය නොලැබෙන බැවින් ඔවුන් විසින් එම දේශීය අගය එකතු කිරීම 40%ක් දක්වා වැඩි කිරීමේදී නිෂ්පාදන බද්දේ 70%ක සහනය ලබාදීමට යෝජනා කර ඇත.

එමෙන්ම ඒ සඳහා වෙහිකල්ස් ලංකා සමාගම කැමැත්ත ප්‍රකාශ කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.

වාහන 2250කට සහනයක් :

තවද එම සහනය වසර තුනක කාලයකදී එකලස් කරන වාහන 2250කට අදාළ වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම සිදුවීමට පෙර ජනවාරි 24 දින සහිතව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග විසින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලිඛිතව දැනුම් දෙන්නේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක නිගමන සඳහා අමාත්‍ය මණ්ඩලය ලබා දුන් තීන්දුව අනුව රේගුව විසින් රඳවාගෙන ඇති වෙහිකල්ස් ලංකා සමාගමේ වාහන අමතර කොටස් අඩංගු කන්ටේනර් 8ක් නිදහස් කරන ලෙසය.

එම අමාත්‍ය අනුකමිටුවේ සෙසු සාමාජිකයන් වශයෙන් කටයුතු කර ඇත්තේ රවි කරුණානායක, විජයදාස රාජපක්ෂ, සාගල රත්නායක හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ය.

භාණ්ඩාගාර ලේකම්වරයාගේ එම ලිපිය මාධ්‍යවලට අනාවරණය වීමත් සමඟ මහත් ආන්දෝලනයකට ලක්වූ අතර ඊට ශ්‍රී ලංකා රේගුවෙන්ද දැඩි විරෝධයක් එල්ල විය.


අධිකරණයට අපහාස කිරීමක් :

මේ අතර ශ්‍රී ලංකා රේගුවේ විශ්‍රාමික නියෝජ්‍ය රේගු අධිකාරිවරයෙකු වූ සනත් ප්‍රනාන්දු මහතා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ භාණ්ඩාගාර ලේකම්වරයාගේ ලිපියේ සඳහන් නියෝගය ක්‍රියාත්මක කළහොත් එය අධිකරණයට අපහාස කිරීමක් බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවය.

මේ අතර ඉකුත්දා පොලිසියේ වලාන දූෂණ මර්දන ඒකකය රේගුවේ මධ්‍යම විමර්ශන ඒකකය හා එක්ව අධිකරණ නියෝගයක් මගින් වෙහිකල්ස් ලංකා සමාගමේ මිනුවන්ගොඩ අංගණය වටලා එහි තිබූ නීති විරෝධී යැයි පැවසෙන එකලස් කළායැ’යි කියන සුඛෝපභෝගී වාහන 54ක් සිය භාරයට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට මුදල් අමාත්‍යවරයා දුරකතනයට සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

(රාවය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top