Feb 08, 2017

අර්ජුන කෝටි 60කට කෙරුව ඒවත් හොයන්න කියයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව රු. 66,280,616.00 ක මුදලක් (එනම් රුපියල් හයකෝටි හැට දෙලක්ෂයකට වැඩි මුදලක්) වැය කිරීම පිළිබඳව සොය බලන ලෙස ඉල්ලමින් දුෂණ විරෝධි පෙරමුණ අද (08) ජනාධිපති වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

අදාළ ලිපිය පහත දැක්වේ.

2017.02.08


ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමා,
ජනාධිපති මන්දිරය,
කොළඹ 1.

ගරු ජනාධිපතිතුමනි,

හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් සිදු කොට ඇති පෞද්ගලික හා නිල වියදම් සම්බන්ධ විමර්ශනයක් සිදු කිරීම

ඔබ විසින් පත් කරනු ලැබූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් සිදු කරනු ලැබූවේ යැයි පැවසෙන පෞද්ගලික හා නිල වියදම් අක්‍රමිකතා පිළිබඳව වන අභ්‍යන්තර විගණන වාර්තාවක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය වාර්තා කොට ඇත.

ජනාධිපතිවරයා වෙත ඔබ වෙත පැවරී ඇති බලය අනුව, මුදල් පනතේ 12.3 වගන්තිය යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙත ලබා දී තිබූ වැටුප්, දීමනා සහ වරප්‍රසාදවලට අමතරව ඔබතුමන් විසින් අනුමත නොකරන ලද වියදම් විශාල ප්‍රමාණයක් පිළිබදව අදාළ විගණන වාර්තාවේ සවිස්තර කරුණු දැක්වීමක් සිදු කොට ඇත.

ජනාධිපතිවරයා ලෙස ඔබතුමන් විසින් අනුමත නොකරන ලද වියදම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය හා වගකීම පැවරී ඇත්තේ අදාළ පත්වීම් බලධරයා ලෙස ඔබතුමන් වෙතය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය විනය ජාතික වැදගත්කමකින් යුතු කරුණකි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පමණක් නොව බැංකු වර්ගීකරණ ආයතනයන් හි දර්ශක සදහා ද එය සෘජුව බලපානු ලබයි.

ඔබතුමන් විසින් අනුමත නොකළ රු. 66,280,616.00 ක මුදලක් (එනම් රුපියල් හයකෝටි හැට දෙලක්ෂයකට වැඩි මුදලක්) වැය කිරීම සම්බන්ධයෙන් රහස් පොලීසිය හෝ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හරහා විමර්ශනයක් කිරීම කෙරෙහි ඔබගේ කාරුණික අවධානය යොමු කරන මෙන් කාරුණික ඉල්ලමු.

මෙයට විශ්වාසී,


පූජ්‍ය උලපනේ සුමංගල හිමි කීර්ති තෙන්නකෝන්
සභාපති/දුෂණ විරෝධී පෙරමුණ උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top