Feb 09, 2017

බැඳුම්කර ගනුදෙනුව : මහ බැංකුව පොලිසියට යයි

බැඳුම්කර ගනුදෙනු ගැන චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනයේ ඇතැම් කරුණු ගැන පරීක්‍ෂණ පැවැත්වීමට මුදල් මණ්‌ඩලයේ තීරණය අනුව මහබැංකුව විසින් පොලිස්‌පතිවරයාට පැමිණිලි කර ඇතැයි මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ කොළඹ මූලස්ථානයේ ඊයේ (08) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය.

එම ආයතනයේ ගනුදෙනු සීමා කිරීමට ගත් පියවරට අමතරව මෙසේ පොලිසියට පැමිණිලි කිරීම සිදු කළ බවත් ඒ අනුව දැන් එම පොලිස්‌ පරීක්‍ෂණය ද සිදුවන බවද මහබැංකු අධිපතිවරයා කීවේය.

එම පොලිස්‌ පරීක්‍ෂණයට අමතරව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනය සම්බන්ධව තවදුරටත් කළ යුතු පරීක්‍ෂණ සඳහා තවත් අභ්‍යන්තර පරීක්‍ෂණ දෙකක්‌ මහ බැංකුව සිදු කර ගෙන යන බවද මහබැංකු අධිපතිවරයා කීවේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනය ගැන මහබැංකුව සිදු කළ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාවට අනුව පියවර ගෙන ඇති බවත් එම ක්‍රියාමාර්ග ගැන තවමත් තමාට විස්‌තරාත්මක හෙළි කිරීමක්‌ කිරීමට හැකියාවක්‌ නැති බවද මහ බැංකු අධිපති ආචාර්ය කුමාරස්‌වාමි මහතා කීවේය.

නමුත් එම පියවර පිළිබඳ ඇතැම් තොරතුරු පාර්ලිමේන්තු විවාදයේදී හෙළි වූ බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

''පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ආයතනයේ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාවේ ඇති තවත් ඇතැම් කටයුතු ගැන මහ බැංකු මුදල් මණ්‌ඩලයේ අවධානය යොමු වී තිබෙනවා. ඒවා උල්ලංඝනය කිරීම් ලෙස තවමත් පූර්ණ වශයෙන් තීරණය කරලා නැහැ. ඒවා ගැන තවදුරටත් පරීක්‍ෂණ කළ යුතුයි'' යෑයිද මහබැංකු අධිපතිවරයා තවදුරටත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කීවේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top