15976 BM WEB BANNER 01
Feb 10, 2017

''රවීගේ 'වැඩේට' බාධා කරන්න එපා'' - ප්‍රසන්න ගෙන් බලපෑම් Featured

පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් ගෙන්වා වාහන එකලස් කිරීමේ නියුතුයැයි සඳහන් ආන්දෝලනාත්මක 'වෙහිකල්ස් ලංකා' පෞද්ගලික සමාගමට එරෙහිව කිසිවක් ප්‍රකාශ නොකරන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා, එම කණ්ඩායමේ තවත් ක්‍රියාකාරී මන්ත්‍රීවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතා ගෙන් ඉල්ලීමක් කර ඇත.

පාර්ලිමේන්තුවේ 07 දා පැවැති මෝටර් රථ ආඥ පනතට අදාළ නියෝග පිළිබඳ විවාදයට එක්වූ රෝහිත අබේගුණවර්ධන මහතා, 'වෙහිකල්ස් ලංකා' පෞද්ගලික සමාගමට තවදුරටත් බදු සහන ලබාදීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ජනවාරි 31 වැනිදා පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ඉදිරිපත් කරන ලද සංදේශය සම්බන්ධයෙන්  දැඩිලෙස විරෝධය පළකර තිබීම ඊට හේතුවයි.


 මුදල් අමාත්‍යවරයා එම කැබිනට් පත්‍රීකාවෙන් 'වෙහිකල්ස් ලංකා' සමාගම විසින් එකලස් කරන වාහන සඳහා 70%ක නිෂ්පාදන බදු කපා හැරීමක් ලබාදෙන ලෙස යෝජනා කර තිබීම රෝහිත අබේගුණවර්ධන මහතාගේ විවේචනයට ලක්විය.


රවි එක්ක හිටියට අපේ කෙනෙක් :

රෝහිත අබේගුණවර්ධන මහතාගේ කතාව නිමාවත් සමග ඔහු අසලට පැමිණි ප්‍රසන්න රණතුංග මහතා, 'වෙහිකල්ස් ලංකා' සමාගම තම ගම් පෙදෙසේ පිහිටි පිළිගත් ආයතනයක් බවත්, එහි හිමිකරුවා තමාට මෙන්ම හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ පවුලේ අයට නොසහෙන්න උදව් උපකාර කර ඇති බවත්, යෝශිතට කෝටි ගණනක් වටිනා රේසින් කාරයක් නොමිලේ ලබාදී ඇති බවත් පවසා, මින් ඉදිරියට එම ආයතනයට එරෙහිව කිසිවක් ප්‍රකාශ නොකරන්නැයි ඉල්ලා තිබේ.

පසුගිය කාලයේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රචාරක කටයුතු වලට පවා 'වෙහිකල්ස් ලංකා' සමාගමේ ප්‍රධානියා නොමසුරුව ආධාර කල බව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මෙහිදී පවසා ඇත.


වාහන 2250කට සහනයක් : කන්ටේනර් 8ක් නිදහස් :


මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල යෝජනාවට අනුව, 'වෙහිකල්ස් ලංකා' සමාගමට ලබාදෙන සහනය වසර තුනක කාලයකදී එකලස් කරන වාහන 2250කට අදාළ වේ.

මේ අතර, ජනවාරි 24 දින සහිතව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග විසින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලිඛිතව දැනුම් දෙන්නේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක නිගමන සඳහා අමාත්‍ය මණ්ඩලය ලබා දුන් තීන්දුව අනුව රේගුව විසින් රඳවාගෙන ඇති 'වෙහිකල්ස් ලංකා' සමාගමේ වාහන අමතර කොටස් අඩංගු කන්ටේනර් 8ක් නිදහස් කරන ලෙසය.

භාණ්ඩාගාර ලේකම්වරයාගේ එම ලිපිය මාධ්‍යවලට අනාවරණය වීමත් සමඟ මහත් ආන්දෝලනයකට ලක්වූ අතර ඊට ශ්‍රී ලංකා රේගුවෙන්ද දැඩි විරෝධයක් එල්ල විය.


අධිකරණයට අපහාස කිරීමක් :


මේ අතර ශ්‍රී ලංකා රේගුවේ විශ්‍රාමික නියෝජ්‍ය රේගු අධිකාරිවරයෙකු වූ සනත් ප්‍රනාන්දු මහතා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ භාණ්ඩාගාර ලේකම්වරයාගේ ලිපියේ සඳහන් නියෝගය ක්‍රියාත්මක කළහොත් එය අධිකරණයට අපහාස කිරීමක් බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවය.

මේ අතර ඉකුත්දා පොලිසියේ වලාන දූෂණ මර්දන ඒකකය රේගුවේ මධ්‍යම විමර්ශන ඒකකය හා එක්ව අධිකරණ නියෝගයක් මගින් වෙහිකල්ස් ලංකා සමාගමේ මිනුවන්ගොඩ අංගණය වටලා එහි තිබූ නීති විරෝධී යැයි පැවසෙන එකලස් කළායැ’යි කියන සුඛෝපභෝගී වාහන 54ක් සිය භාරයට ගෙන ඇත.


සබැඳි පුවත් :
වෙහිකල්ස් ලංකා වාහන ජාවාරමට කැබිනට් පත්‍රිකාවක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top