Feb 11, 2017

ලංකාවේ තොරතුරු පනත ලෝකයේ අංක 03 ට

ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත, පසුගිය සිකුරාදා හෙවත් පෙබරවාරි 03 වැනිදා ගැසට් කළ කොමිෂන් සභා නියෝග සහ රීති සමගින් ලෝකයේ අංක 03 දක්වා ඉහළ ගිය බව නිල වශයෙන් දැනුම් දී තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකරන කැනඩාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය පිළිබඳ මධ්‍යස්ථානය විසින් ඊයේ (10) දිනයේ මේ නිවේදනය නිකුත් කරනු ලැබීය.

නිවේදනය මෙතැනින්.


මේ අනුව අංක 04 හි පසුවූ ඉන්දියාව ද පරදවා දකුණු ආසියාවේ හොඳම තොරතුරු නීතිය සහිත රට බවට ඊයේ පටන් ශ්‍රී ලංකාව පත් වේ.

 මීට පෙර ලංකාවේ තොරතුරු නීතිය ලෝකයේ නව වැනි තැනට නීතිමය රාමුව අනුව පත්වී සිටියේ ශ්‍රේණිගත කිරීමේදී ලකුනු 150 න් 121 ක් ලබාගනිමිනි.

නමුත් තොරතුරු කොමිෂන් සභාව විසින් සකස් කළ විශිෂ්ට සහ ප්‍රගාමී රීති හා නියෝග හේතුවෙන් මෙම ලකුණු ප්‍රමාණය මේ වන විට 131 දක්වා ඉහළ ගොස් තිබේ. ලංකාව 09 වැනි තැන සිට 03 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත්තේ ඒ අනුව ය.


අති විශේෂ අවස්ථාවක්:


රටක තොරතුරු කොමිසම විසින් සාදනු ලබන නියෝග සහ රීති හේතුවෙන් එම නීතිය ලබාගන්නා ලකුනු ප්‍රමාණය ලකුණු කිහිපයකින් ඉහළ යාම සාමාන්‍ය දෙයක් වුවත් මෙසේ ලකුණු 10 ක් වැනි ප්‍රමාණයක් නියෝග සහ රෙගුලාසි විසින් ලබාගැනීම අති විශේෂ අවස්ථාවක් බව ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය පිළිබඳ මධ්‍යස්ථානයේ ප්‍රධානී ටෝබි මෙන්ඩේල් පවසයි.

මේ වෙනුවෙන් එම රීති සකස් කිරීමට කැප වී ක්‍රියා කළ තොරතුරු කොමිසමේ මේ වෙනුවෙන් කටයුතු කළ සාමාජිකයන්ට මෙන්ම අමාත්‍යවරයාට ද මෙම ගෞරවය හිමිවන බව ඔහු තවදුරටත් පැවසීය.
 
විශේෂයෙන්ම මෙම රීති සහ නියෝග මගින්, පනතේ නොතිබුණු සුවිශේෂී මහජන අර්ථ සිද්ධීමය ලක්ෂණ පවා එම නීතියට එක්කරනු ලැබීය.

ඒ අතරින්,

යම් හෙයකින් පුරවැසියා තොරතුර ඉල්ලන්නට ගොස් තිබෙන්නේ නිවැරදි පොදු අධිකාරිය වෙත නොවේ නම්, එකී පොදු අධිකාරිය විසින් එම තොරතුරු ඉල්ලීම නිවැරදි පොදු අධිකාරිය වෙත යොමුකිරීම

පුරවැසියන්ට දරාගත හැකි ගාස්තු උපලේඛනය

ප්‍රගාමී ලෙස හෙළිදරව් කිරීමට අදාළ මූලධර්මය දැඩි ලෙස අන්තර්ග්‍රහණය කර තිබීම සහ එමගින් පුරවැසියන්ට පහසුව සලසා දීම

අදාළ පොදු අධිකාරීන් තමන්ගේ තොරතුරු නිලධාරීන් වෙත නිසි පුහුණුව ලබාදීමට බැඳී සිටීම
යනාදිය ඇතුළත් වේ.


තොරතුරු සංස්කෘතියක් :


කෙසේ නමුත්  මේ මොහොත වන විට දැනගන්නට ලැබී තිබෙන අන්දමට අමාත්‍යාංශ ගණනාවක තවමත් තොරතුරු නිලධාරීන් පත් කර නොමැති අතර, ආණ්ඩුවේ නිල රූපවාහිනී නාලිකාව වශයෙන් සැලකෙන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පවා තොරතුරු නිලධාරියෙක් නොමැත.

තොරතුරු පනතේ 2 වැනි වගන්තිය අනුව, පනත සක්‍රිය ලෙස බලාත්මක කිරීම සහතික කිරීම සම්බන්ධයෙන් වගකීම තිබෙනුයේ ජනමාධ්‍ය විෂය පවරා ඇත්තා වූ අමාත්‍යාංශයට ය.

මේ නිසා මේ නව ශ්‍රේණිගත කිරීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වැඩි උනන්දුවක් යොමුකරමින් පනතෙන් අපේක්ෂා කරන තොරතුරු සංස්කෘතිය ඇතිකිරීමට යුහුසුළුව කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top