nsb

Feb 11, 2017

'ගැහැනු ළමයින්ට රහස් පණිවිඩ යවන්න ලේසිවෙලා'

ගැහැනු ළමයකුට සිය පියාට සහෝදරයින්ට රහසේ පණිවිඩයක් යැවීමට දැන් පහසුවී ඇතිබව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එබව සඳහන් කළේ (09) දා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

''අද හැම ගෙදරකම දුරකථන තියෙනවා. ගැහැනු ළමයකුට ලියුමක් ලියන්න පෑනක් ඕන. කඩදාසියක් ඕන. කාටවත් අහුවෙන්නේ නැති‍ෙවන්නත් ඒක කරන්න වෙනවා. මෙහෙම ලියනකොට තාත්තාට අහුවෙන්න පුළුවන් සහෝදරයකුට අහුවෙන්න පුළුවන්. ලියුම දකින්න පුළුවන්. දැන් ඒ සියල්ල ලේසිවෙලා. ටිවිටර් ඇවිල්ල, ඊමේල් ඇවිල්ල. අද කොච්චර දියුණුවෙලාද කියල ලෝකය වෙනස්වන විදිහෙන් පේනවා.'' යයි අගමැතිවරයා කියා සිටියේය.

රට සංවර්ධනය කිරීමේදී මතුවන ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟතාවයකට එළැඹීමට රජය සූදානම් වුවත් සංවර්ධන ක්‍රියාවලියට බාධා කිරීමට කිසිදු දේශපාලන බලවේගයකට ඉඩ නොතබන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

ඊලයිබ්රි :

'දැන් අධ්‍යාපන අමාත්‍යවරයා ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. තාක්ෂණික විද්‍යුත් පුස්තකාලයක්. ඊලයිබ්රිවලින් හෝ ඉන්ටනෙට් එකෙන් කියවන්න පුළුවන්.

නවීන තාක්ෂණය තුළින් හැම කෙනකුටම හොඳ අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව ලැබෙනවා. අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ හදාරන්න තවදුරටත් කඩඉම් විභාගයක් නොවෙයි.

සාමාන්‍ය පෙළින් පස්සේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ට උසස් පෙළ හදාරන්නත් තමන් කැමති ක්ෂේත්‍රයක් ඔස්සේ අවස්ථාව ලබා දෙනවා.

සාමාන්‍ය පෙළ අසමත් වෙලා ගෙදර ඉන්න දරුවට අපි ඉහළට ඉගෙන ගන්න අවස්ථාව ලබාදෙනවා. කලාවට, ක්‍රීඩාවට, රූපලාවන්‍ය කටයුතුවලට විවිධ අංශයන් ඔස්සේ දක්ෂයි නම් ඒ අංශයේ අවස්ථාව ලබාදෙනවා. හැමකෙනෙකුටම අවස්ථාව ලබාදෙනවා.


ඕලෙවල් පාස්පේල් විභාගයක් නොවේ :

ඕලෙවල් පාස්පේල් විභාගයක් නොවෙයි. ඉස්කෝලේ ඉගෙනගන්න පුළුවන්. තමන් කැමති ක්ෂේත්‍රයක් ඔස්සේ ඉගෙනීම කළ හැකියි . ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෘත්තිය සුදුසුකම් පාසල තුළින්ම ලබාදෙනවා. ඒ අවස්ථාව නැති නිසා විරැකියාවෙන් පෙළෙනවා. අපිට ඕන අවස්ථාව ලබා දී ඒක නැති කරන්නයි.

ගොඩක් අයට පාසලේ සාම්ප්‍රදායික විෂයයන් වලින් විශ්වවිද්‍යාලයට යන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ අයට අවස්ථාවක් ලබාදිය යුතුයි. චිත්‍ර කලාව‍ට සංගීතයට නර්තනයට හුඟක් අය දක්ෂයි. අපි විවිධ දේට දක්ෂයි. ඒ විවිධ දේ විවිධ දක්ෂතා ඔප්නංවන්න අවස්ථාව ලබාදෙනවා. පාසල තුළදී ශිෂ්‍යයාට නිදහස ලැබෙනවා තමන් කැමති දේ හදාරන්න. ඉහළට ඉගෙන ගන්න.

අනාගතයේදී සංචාරක ව්‍යාපාරයට විශේෂ වැදගත්කමක් වෙනවා. ඒ අංශයෙන් ඉගෙන ගන්න දූ දරුවන්ට අවස්ථාව ලැබෙයි.

පුද්ගල සංවර්ධනය:


රටක දියුණුවට පුද්ගල සංවර්ධනය ඉතාවැදගත් වෙනවා. පාසල තුළින් තමයි පුද්ගල සංවර්ධනය ඇති කරන්නේ. රටක් ගොඩ නගන්න පුද්ගල සංවර්ධනය ඉතාම වැදගත්. අපි දැන් බලාපොරොත්තු වන්නේ ආර්ථික සංවර්ධනයක්.

අපිට අවුරුදු 33ක් මේක කරන්න බැරි වුණා. කොහොමද අපි හොඳ ආදායමක් සැමටම ලැබෙන ලෙස මේ රට සංවර්ධනය කරන්නේ. කොහොමද අපි ඉදිරි අවුරුදු 10, 15 ඇතුළත රට ඉදිරියට ගේන්නේ . එයයි රජයේ ප්‍රධාන ඉලක්කය බවට අද පත්වී තිබෙන්නේ.


කුරුණෑගල සිට හම්බන්තොටට කර්මාන්ත ඇතිවෙනවා. අපිට තියෙනවා විශාල වරායන් දෙකක්. ඒවාට එකිනෙකට සම්බන්ධ වූ ගුවන් තොටුපළ දෙකක්.

ඒ විතරක් නොවෙයි අපි කොහොමද ත්‍රිකුණාමල වරාය දියුණු කරන්නේ. මේ වගේ අවස්ථාවක් අපට ලැබිල නැහැ. විද්‍යුත් උපකරණ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත අපේ රටේ ඇති කරන්න විදේශීය ආයෝජකයන් කැමැත්ත පළ කර තියනවා.


 මහනුවර IT Zone එකක්  :

මහනුවර නගරය ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු කරනවා. එයට සැලසුම් හදා අවසන්. බෝගම්බර පැරණි බන්ධනාගාරය ආශ්‍රිත ප්‍රදේශය සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්කරනවා. අපේ පාරම්පරික ශිල්පීන් වෙනුවෙන්.

 මහනුවර IT Zone එකක් බවට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මහනුවර කොළඹ අධිවේගී මාර්ගය දැන් හැදෙනවා. එවිට කොළඹ මහනුවර අතර දුර පැයකින් අවසන් කළ හැකියි.

කුරුණෑගල මාතර ගාල්ල හම්බන්තොට මේ හැම නගරයක්ම සංවර්ධනය කරනවා. සියලු දෙනාටම සුබ අනාගතයක් ලබාදීමටයි මේවා කරන්නේ. ලෝකය සමඟ අපි ඉදිරියට යායුතුයි. පස්සට ගිහිල්ල වැඩක් නැහැ.


චින‍ සංස්කෘතික විප්ලවය :

ආසියාවේ රටවලටත් පසු පසින් අපි ඉන්නේ. චින‍ෙය් එහි සංස්කෘතික විප්ලවයක් ඇතිවුණා. ඒ රටේ හිටපු ජනාධිපතිව අල්ලගෙන ගිහිල්ල මිනිස්සු හිර කළා. ඒවගේ අර්බුද වලින් පිරිච්ච චීනය අපිට වඩා ගොඩාක් ඉදිරියට ගිහිල්ල.

වියට්නාමය ඇමරිකා‍වත් එක්ක සටන් අත්ඇරල 1991 දී අපෙන් ඇහැව්වා කොහොමද ඇඟලුම් කර්මාන්තය දියුණු කරන්නේ කියල. අද ඔවුනුත් අපි පහු කරගෙන ගිහින්. ඒ කාලේ අපිට වඩා පිටුපසින් සිටි රටවල් අද ඉදිරියට ගිහින්. අපි යුද්දෙකට අහුවුණා.

මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක හැම වේලාවෙම එකිනෙකාට එරෙහිව වැඩ කළේ. ඒක හරියට රාජකීය ත්‍රිත්ව බැඩ්බ්‍රි ෆීල්ඩ් එකට සටන් කරනවා වගේ. තරග කරනවා වගේ. අපේ විපක්ෂය දෙමළ ජාතික සන්ධානයයි.

මේ රටට ජනතාවට හොඳ අනාගතයක් ලබාදෙන්නයි මමයි ජනාධිපතිතුමායි අපි සැවොම එකතු වී වැඩ කරන්නේ. රටේ ඇති තරම් කර්මාන්තශාලා, හෝටල් ඇති කළ යුතුයි. අද විදේශ රටවල අපි දකින බලාපොරොත්තු වන දේවල් අපේ රටේ ඇති කළ යුතුයි.

බංග්ලාදේශය, මියැන්මාරය, මැලේසියාව, තායිලන්තය, සිංගප්පුරුව අපිට වඩා ඉදිරියට ගිහින්. අපි ඉදිරි කාලය තුළ මේකට අවශ්‍ය පදනම හදනවා. රට ඉදිරියට ගෙනියන්න. අපිට ඕන රට සංවර්ධනය කරන්නයි.


බාධා කරන්න එපා :


ඒකට කිසිම දේශපාලන බලවේගයකට බාධා කරන්න බැහැ. අපි වාද කරන්න කැමැතියි. අනික් අතින් ප්‍රශ්න තියනවා නම් සාකච්ඡා කර එකඟතාවයකට එන්න ඕන.

 යුද්දෙන් පස්සේ ජපානය විනාශ වුණා. කොරියානු යුද්දෙන් පස්සේ ඒ රට විනාශ වුණා. අද ඒ රටවල් දියුණු වෙලා. අපි හිතුවා අපි තමයි රජ්ජුරුවෝ කියලා. අපි ඒ හැමෝටම පස්සට ඇවිල්ලා. අපි මේ වෙලාවෙ නියම සංවර්ධන මාවතකට ප්‍රවිශ්ට නොවුණොත් තව අවුරුදු 15 කින් පස්සට වැටෙනවා. අපි නව මාවතක නව ජවයකින් ගමන් ඇරඹිය යුතුයි.

මෙහිදී විදුහල්පති වාර්තාව ඉදිරිපත් කිරීම ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති Andrew Fowlerwatt මහතා විසින් සිදුකරන ලදී. ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ රන් පදක්කම එස්. යූ. කෑරගල ශිෂ්‍යයා විසින් ද සියලුම අංශයන්ගෙන් දක්ෂතා දැක්වූ ශිෂ්‍යයාට හිමි රන් පදක්කම වයි. ටී. බී. ටී. පිටවල ශිෂ්‍යයා විසින් ද දිනාගන්නා ලද අතර ඔවුන්ට පදක්කම් ලබාදීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවිය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top