Feb 11, 2017

ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි ! Featured

රාජපක්ෂ පාලන සමයේ දී ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් කොන්සියුලර් කාර්යාලය සඳහා යැයි කුලියට ගෙන තිබූ සුපිරි නිවසක් එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයාගේ පරිහරණය සඳහා යොදාගෙන තිබූ බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී තිබෙන පැමිණිල්ල අනුව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා පසුගියදා ඇමරිකාව බලා ගිය නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර හා ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ප්‍රේමරත්න යන නිලධාරීන් එහි FBI ආයතනය විසින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගෙන තිබේ.

එවකට ලොස්ඇන්ජලීස් නුවර කොන්සියුලර් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල්වරයා ලෙස කටයුතු කළ මල්රාජ් ඩි සිල්වා මහතාගෙන් හා ආරක්ෂක කටයුතු භාරව කටයුතු කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික සහකරු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ජයන්ත රත්නායක යන අයවලුන්ගෙන් කටඋත්තර ලබා ගැනීමට පොලීසිය බලාපොරොත්තු විය.

මල්රාජ් ඩි සිල්වා මහතාට මෙම පරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණෙන්නැයි කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

එමෙන්ම ඇමරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයට පැමිණෙන ලෙස කළ ඉල්ලීම ද ඔහු ප්‍රතික්ෂේප කර තිබිණි.

ඔහු අමෙරිකානු පුරවැසියකු වන බැවින් අවශ්‍ය නම් තමා පවසන තැනට පැමිණෙන ලෙස කළ දැනුම් දීමෙන් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් පරීක්ෂකවරයා ඔහු හමුවීම සඳහා අදාළ නවාතැනට ගොස් ඇතත් මල්රාජ් මහතාගෙන් ප්‍රශ්න කිරීමට ඉඩක් ලැබී නැත.

එෆ්.බී.අයි. ප්‍රශ්න කිරීම් :

එහි දී එෆ්. බී. අයි. ආයතනය නියෝජනය කරමින් පැමිණි නීතිඥවරු දෙදෙනකු මල්රාජ් මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා කිසිදු අයිතියක් නැති බව පෙන්වා දී ඇත.

එහෙත් තමන් පැමිණියේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසුව බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇති නමුත් අපරාධයක් සම්බන්ධයෙන් ඇමරිකානු පුරවැසියකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිලධාරීන්ට නොහැකි බවත් ඒ ඇමරිකානු නීතියට එරෙහි වීමක් බැවින් පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සිදු වන බවත් දැනුම් දී ඇත.

කෙසේ නමුත් ලැබුණු සුළු අවසරයකින් නියෝජ්‍ය පොලිස්පතිවරයාත් පොලිස් පරීක්ෂකවරයාත් ඒ ක්ෂණයෙන් ම වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බලා ගොස් එදින ම මෙරට පැමිණීමට කටයුතු කොට ඇත.

එසේ ම ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත් වීමේ අනතුරක් තිබුණු බැවින් විමර්ශන කටයුතු සඳහා මෙරටින් රැගෙන ගිය ලියකියවිලි සහිත ගමන් බෑගය හෝ රැගෙන ඒමෙන් තොරව දිවයිනට පැමිණි බවත් වාර්තා වේ.

මෙම සිදුවීම වන විට ඇමරිකාවේ ද පුරවැසිභාවය හිමි ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඇමරිකාවේ සිටිම විශේෂත්වයකි.

අනවබෝධයෙන් කටයුතු කිරීම:

අපරාධ විමර්ශන කටයුතු සඳහා විදේශ රාජ්‍යයකට යෑමේ දී අනුගමනය කළ යුතු රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් ගැන අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා මීට පෙර අවස්ථාවක දී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හා අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතු කඩාකප්පල් වූ බව ද වාර්තා වී ඇත.

ඒ අතර රාජපක්ෂවරුන්ගේ හා එම හිතවතුන්ට අයත් රුපියල් බිලියන ගණනක වූ මුදල් තැන්පත් කර තිබූ බවට සැක කරන ඩුබායි හි බැංකු ගිණුම් ගැන තොරතුරු ලබා ගැනීමට නොහැකි වීම ප්‍රධාන සිදුවීමකි.

ඒ කෙසේ නමුත් මෙම ලොස්ඇන්ජලීස් කොන්සියුලර් කාර්යාල ගොඩනැඟිල්ලේ සේවය සඳහා යොදවා සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම පසුගියදා සිදුව තිබේ.

එසේම ඔවුන් දෙදෙනාට මෙරටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීම ද පසුගිය බ්‍රහස්පතින්දා සිදු විය.

ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සිටි මෙම හමුදා නිලධාරීන් දෙදෙනා ලොස්ඇන්ජලීස් කොන්සියුලර් කාර්යාලයෙහි සේවය සඳහා යෙදවීම මුළුමනින් ම නීති විරෝධී කටයුත්තක් බව ද හෙළිව ඇත.

කිසිදු නීත්‍යනුකූල අවසරයකින් තොර ව හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ හිතුමතේට මෙම නිලධාරීන් ලොස්ඇන්ජලීස් හි සේවයට යොදවා ඇත.

පුත්‍රයාගේ ආරක්ෂාවට :

මෙම නිවස කිසිදු විටෙක කොන්සියුලර් කාර්යාලයක් ලෙස පාවිච්චියට ගෙන නොමැති නමුත් මෙරට විදේශ අමාත්‍යාංශය මාසිකව ඩොලර් 8000 ගණනේ වසර දෙකකට ආසන්න කාලයක් කුලී ගෙවා තිබේ.

එමෙන්ම 2015 වසරේ මාර්තු මාසය දක්වාම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා මෙම නිවස සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගත් බවට ලිඛිත සාක්ෂි හමුව ඇති බවත් වාර්තා වේ.

හමුදා නිලධාරීන් දෙදෙනා යොදා ඇත්තේ මෙම පුත්‍රයාගේ ආරක්ෂාවට හා රියැදුරන් වශයෙන් බව ද පැවැසේ.

එමෙන් ම මෙම නිලධාරීන් යුද හමුදාවෙන් මෙන්ම විදේශ අමාත්‍යාංශයෙන් වැටුප් ලබාගෙන තිබේ.

මංගලගේ පැමිණිල්ල :

මේ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර මහතා පසුගිය දෙසැම්බර් 3 වන දින මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම විමර්ශන කටයුතු ආරම්භ විය.

මෙම නිවාස සඳහා මාසික කුලියට අමතරව ජල විදුලිය හා රූපවාහිනී ගාස්තු ගෙවා ඇත්තේ ද විදේශ අමාත්‍යාංශයෙන් බව සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති ඇමැතිවරයා, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙම නිවාස යළි භාර දීමේ දී අලාභහානි වශයෙන් ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් ගෙවීමට සිය අමාත්‍යාංශයට සිදු වූ බව ද කියා සිටියේය.

මේවනවිට විදේශගතව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණී වහාම අත්අඩංගුවට ගැනීම සිදු වනු ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ දූෂිත මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් හා මහජන මුදල් අවභාවිත කරමින් ඉදිකළ වීරකැටිය ඩී. ඒ. රාජපක්ෂ සොහොන සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විමර්ශනය වෙනුවෙන් බව ද දැනගැනීමට තිබේ.

ගෝඨා අත්අඩංගුවට ?

කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මොහොතේ අත්අඩංගුවට ගැනීම නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැතිවරයා හා තවත් ජ්‍යේෂ්ඨ ඇමැතිවරුන් හමුවේ දැනුම් දී ඇති බව ද ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි. ඒ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිකර ගැනීමක් බවත් අවශ්‍ය නම් අත්අඩංගුවට ගැනීමකින් තොරව නඩු පැවරිය හැකිද යන්න ගැන සොයා බලන ලෙසත් විමර්ශන නිලධාරීන්ට දන්වා ඇති බව ද පැවසේ.

මීට පෙර ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් ඇති විමර්ශන කටයුතුවල දී ද ඇයව කිසිසේත් ම අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළ යුතු බවට ජනාධිපතිවරයා පොලීසියට දැනුම් දී තිබුණු බව වාර්තා විය.

එහෙත් අපරාධ නඩු විභාගයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම නීතියේ මූලික කටයුත්තක් වන නිසා ඒ සිදු කළ හැකිදැයි සැක සහිතය.


(සත්හඬ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top