nsb

Feb 12, 2017

පාම් ඔයිල් කන්ටේනර් 24ක් විනාශ කෙරේ Featured

මිනිස් පරිභෝජනයට නුසුදුසු ‘කෘඩ් පාම් ඇසිඩ්’ (Crude Palm Fatty Acid – CPFA) බහාලුම් විසිහතරක් රේගු නිවාරණ අංශයේ මෙහෙයුම් ශාඛාව විසින් මුදා නොහැරීමට එරෙහිව සහ ඒවා ආනයනය කිරීමට එරෙහිව කිසිදු විමර්ශනයක් නොකරන ලෙස ඉල්ලමින් සේන මිල්ස් රිෆයිනරීස් පෞද්ගලික සමාගම අභියාචනාධිකරණයට යොමු කර තිබූ රීට් අයදුම්පත ගාස්තුවට යටත් කොට නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතා නියෝග කර තිබේ.

විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ පෙබරවාරි 06 වැනි දින අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

රේගු නිවාරණ අංශය විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කෘඩ් පාම් ඔයිල් කන්ටේනර් 24 රේගු භාරයට ගනු ලැබුවේ 2016 මාර්තු මාසයේ දී ය.

පසුව එකී පාම් ඔයිල්වලින් ලබාගත් නියැඳි දේශීය හා විදේශීය පරීක්ෂණාගාර වෙත යවා පරීක්ෂා කරන ලද අතර ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු තරම් ඉහළ අගයක් ගන්නා නිදහස් මේද අම්ල (Free Fatty Acid - FFA) අඩංගු පාම් තෙල් බවට තහවුරු කරගෙන ඇත.

බදු ගෙවීම පැහැර හැරීමේ උපක්‍රමයක් :

ආනයනකරු විසින් රේගු බදු ගෙවීම පැහැර හැරීම සඳහා උපක්‍රමයක් ලෙස ආනයනික පාම් තෙල්, පාම් තෙල් ලෙස ප්‍රකාශයට පත් නොකොට ‘Crude Palm Fatty Acid’ ලෙස රේගුවට ප්‍රකාශ කිරීම නිසා ආහාර පනත හා ශ්‍රී ලංකා ප්‍රමිතියට යටත් වූ පරීක්ෂාවන්ට භාජනය වීමෙන් වැළකී ඇත.

ශුද්ධ නොකළ පාම් තෙල්වල අඩංගු විය හැකි උපරිම නිදහස් මේද අම්ල ප්‍රතිශතය 5%ක් ද පරිභෝජනයට සුදුසු තත්ත්වයට ශුද්ධ කළ පාම් තෙල්වල අඩංගු විය හැකි උපරිම නිදහස් මේද අම්ල ප්‍රතිශතය 0.1%ක් ද වශයෙන් ආනයන පාලන පනත හා ආහාර පනත යටතේ ප්‍රකාශ කොට ඇති ගැසට් නිවේදනයේ දැක්වේ.

ඒ අනුව 16% - 20%ත් අතර වූ නිදහස් මේද අම්ල ප්‍රතිශතයක් සහිත බවට පරීක්ෂණාගාර වාර්තාවලින් තහවුරු වූ මෙම ආනයනික පාම් ඔයිල් තොගය මිනිස් පරිභෝජනයට ඉතා අහිතකර සහ හෘද රෝග, පිළිකාකාරක වර්ධනය කරන බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක් විදානාරච්චි මහතා සිය විද්වත් මතය මඟින් පෙන්වා දී ඇත.

වංචනික හා කූඨ ක්‍රියාවලියක් :

කූඨ ජාවාරම්කාර සේන මිල්ස් රිෆයිනරීස් පෞද්ගලික සමාගම සිය මැලේසියානු සැපයුම්කරු මඟින් ඉදිරිපත් කරන ලද නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ වාර්තාවන්ට අනුව මෙම ‘Crude Palm Fatty Acid’ මැලේසියාවේ දී අමු පාම් තෙල් ශුද්ධ කිරීමේ දී සිදු වන නිස්සාරණ ක්‍රියාවලියේ අතුරුඵලයක් ලෙස ආසවන කුලුනුවල මුදුනේ දී එකතු කරගන්නා බව ප්‍රකාශ කර ඇත.

රේගු විමර්ශන නිලධාරීන් විසින් මේ පිළිබඳව මැලේසියානු රජයේ පාම් තෙල් මණ්ඩලයට දැනුම් දීමෙන් පසුව එරට කරන ලද විමර්ශනයක දී හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආනයනකරුගේ ඉල්ලීම මත ශුද්ධ කරන ලද පාම් තෙල් 75%කට නිස්සාරණයෙන් ඉවත් කරන ලද නිදහස් මේද අම්ල 25%ක් මිශ්‍ර කර එය ‘Crude Palm Fatty Acid’ ලෙස නම් කර ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවයි.

මෙකී දූෂිත, වංචනික හා කූඨ ආනයන ක්‍රියාවලිය සේන මිල්ස් රිෆයිනරීස් පෞද්ගලික සමාගම ආරම්භ කර ඇත්තේ 2012 වසරේ සිට ය.

එම වසරේ සිට මිනිස් පරිභෝජනයට නුසුදුසු පාම් ඔයිල් කන්ටේනර් 850ක් මෙරටට ආනයනය කර බෙදා හැර ඇති අතර එය මෙට්‍රික් ටොන් දාහත්දහසක (17,000) ප්‍රමාණයකි.

පිළිකා කාරක :oil0704

2012 වසරේ සිට බස්නාහිර පළාතේ පිළිකා රෝගීන් හා හෘද රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කර ඇති අතර ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ද එවැනි රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කර ඇත.

මේ තත්ත්වයට හේතුව ආනයනික විෂ සහිත මිනිස් පරිභෝජනයට නුසුදුසු පාම් තෙල් පරිභෝජනයට ගැනීම විය හැකි බව රේගු නිවාරණ අංශය සැක පළ කරයි.


(දයා නෙත්තසිංහ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top