nsb

Feb 12, 2017

ඇමරිකාව උතුරු යුද්ධයේදී ආධාර කළහැටි

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හතුරුව සිටිමින් යුද්ධයේදී එල්ටීටීඊ සංවිධානයට ආධාර කළ බවට සිංහල ජාතිකවාදීන් විසින් හෙලා දකිනු ලබන එක්සත් ජනපදය රජයේ හමුදාවලට තීරණාත්මක ලෙස සහාය දුන් අයුරු හිටපු නාවික හමුදාපතිවරයකු විසින් හෙළිදරව් කර තිබේ.

“සාගරයේ අසමමිතික යුද්ධය” නමින් මෑතදී එලි දක්වන ලද ග්‍රන්ථයකින් යුද සමයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව විස්තර කරන අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසන පරිදි ඇමරිකා එක්සත් ජනපදයට අමතරව, ඉන්දියාව, චීනය, පකිස්තානය සහ ඊශ්‍රායලය එල්ටීටීඊ යට එරෙහිව රජයේ හමුදා වලට උදව් කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවට විශාලම අභියෝගයක් වී තිබුනේ මුහුදු කොටි බලකායේ ප්‍රහාර බව එවක නැගෙනහිර විධානයේ ආඥාපති ලෙසින් සේවය කළ අද්මිරාල් කොළඹගේ පවසයි.

“අපිට වැඩියෙන්ම හානි පැමිණුනේ කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාරවලින්. මම හිතන්නේ ඒක සියයට පනහකට වැඩියි.”

ඒ නිසා එල්ටීටීඊ යේ මුහුදු අවි ගබඩා විනාශ කර දැමීම ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේනා වල බරපතල අවශ්‍යතාවක් විය. ඒ සඳහා රජය උදව් ඉල්ලා ගියේ ඇමරිකා එක්සත් ජනපදය වෙතටයි.

ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය:

එක්සත් ජනපදය විසින් දියත් කර තිබුනු “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” පිහිට කරගනිමින් ශ්‍රී ලංකා රජය ඇමරිකා තානාපති රොබට් ඕ බ්ලේක් සහ ආරක්ෂක කටයුතු භාර දූත මණ්ඩල ප්‍රධානියා ගේ සහාය ඉල්ලා තිබේ.

“මේ පාවෙන අවි ගබඩා වලට එරෙහිව අපි යොදාගන්නා ප්‍රහාරක විධික්‍රම පිළිබඳව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඇමරිකානු තානාපති බලධාරීන් අපට ඉලක්ක පිලිබඳ තොරතුරු ලබා දුන්නා,” යි හිටපු නාවික හමුදාපති පවසයි.

ජාත්‍යන්තර මුහුදේ නවතා තිබූ එල්ටීටීඊ අවි ගබඩා වලට පහර දීම සඳහා ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව සහාය දී ඇත්තේ ඔවුන් සතුව තිබූ අධි තාක්ෂණික චන්ද්‍රිකා මෙවලම් ආධාරයෙනි.

සාගරයේ රඳවා තිබු එල්ටීටීඊ සංවිධානයේ යාත්‍රා 12ක් 2006 ත් 2008 ත් අතර කාලය තුල විනාශ කිරීමට එක්සත් ජනපදය මහත් සේ උපකාරී වූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මීට ඉහතදී පවසා තිබුනි.


(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top