Feb 13, 2017

නව ව්‍යවස්ථාව : 'වචන හරඹයක්' - ශ්‍රීලනිප Featured

ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ "ව්‍යවස්ථා සංශෝධනයක්ද" නොඑසේනම් "නව ව්‍යවස්ථාවක්ද" යන්න "වචන හරඹයක් පමණක්" බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාගේ අදහසයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙන්ම 'ව්‍යවස්ථා සංශෝධනයක්' ද ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන නමුත් එය ක්‍රියාවට නැගිය යුත්තේ පවත්නා දේශපාලන වාතාවරණයට අනුකූලව බව ඔහු අවධාරණය කර සිටියි.

පක්ෂයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඒ බව කියා සිටියේ 'බීබීසී සංදේශය' සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

අනිවාර්යයෙන්ම නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන අතර ඒ සඳහා ජනමත විචාරණයකට මුහුණදීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර සහ ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරු පසුගියදා සඳහන් කළහ.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිඥා දුන් ප්‍රකාර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා මෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කැප වී සිටින බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ජනමත විචාරණය අවුලක් :
කෙසේ නමුත් විධායක ජනපති ක්‍රමය අහෝසිකිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය යයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කළ බව පෙන්වාදෙන අමාත්‍යවරයා, "පාර්ලිමේන්තුවෙන් කරන්න පුළුවන් දේ කරන්න පුලුවන් නම් අපිට කිසිම ගැටලුවක් නැතිව සංශෝධනය කරන්න පුළුවන්කම තිබෙන," බව පැවසීය.

විශේෂයෙන්ම ව්‍යවස්ථා සංශෝධනයක් වැනි "කාරණා රාශියක්" සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාම ඉතා සංකීර්ණ බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් "ව්‍යවස්ථා සංශෝධනය" ක්‍රියාවට නැගීමට උත්සාහ දැරීම සිය පක්ෂයේ උත්සාහය බවත් සඳහන් කළේය.

"සමහර වෙලාවට අපි නමයක් කාරණාවලට කැමතිවෙලා එක කාරණයකට නොකමැතිවීමත් එක්ක ජනතාව ඒකට විරුද්ධ වෙන්න පුළුවන් කමක් තියෙනව," ඔහු පැවසීය. 

"ඒ නිසා තමයි අපි උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් මේ ව්‍යවස්ථා සංශෝධන කරන්න." යයි ඇමතිවරයා 'බිබිසි සංදේශය' සමග වැඩිදුරටත් කියා සිටියේය.


ජනමත විචාරණයකට එකඟ නැහැ :
SusilPremajayantha 300px 17 02 13මේ අතර ඊයේ (12 වැනිදා) කඩුවෙල ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුයේ, නව ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ජනමත විචාරණයක්‌ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මෙතෙක්‌ තීරණය කර නැති බවයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

''ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළා නව ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව ජනමත විචාරණයකට යැම සඳහා ශ්‍රී ල.නි. පක්‍ෂයේ සහයෝගය ලබා ගන්නවා කියලා. අපි තවම එහෙම තීරණයකට ඇවිල්ලා නැහැ.

පක්‍ෂයක්‌ හැටියට ශ්‍රී ල.නි.ප. යට ප්‍රතිපත්තියක්‌ තියෙනවා. රට කඩන වැඩපිළිවෙලකට බුද්ධාගම ගැන කිසිදු අංශුමාත්‍රයක වෙනසක්‌ සිදුකරන ව්‍යවස්‌ථා සංශෝධනයකට අප එකඟ නැහැ.

ජනාධිපතිතුමාත් ඉතා පැහැදිළිවම ප්‍රකාශ කර තිබෙනවා මේ මොහොතේ ජනමත විචාරණයකට යායුතු නැහැ කියලා. 

ඊට මෙපිටින් තිබෙන ව්‍යවස්‌ථා සංශෝධනයකට යායුතුයි කියන එක එතුමාගේත් ශ්‍රී ල.නි. පක්‍ෂයේත් මතයයි.

අප මුලින්ම කළ යුත්තේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමයි. ඒ සඳහා අප කටයුතු කරනවා.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top