nsb

Feb 13, 2017

ගෝඨාගේ පුවත බොරු - 'කෙප්ප කෙළින්න දෙන්න බැහැ ' - ඊ නිව්ස් Featured

යහපාලන ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනතක් මගින් නීති ගත කෙළේ මහජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමට බවත්, කොහේවත් යන ජඩමාධ්‍ය කාරයන්ට අමූලික කෙප්ප කෙළීමට අයිතියක් ලබා දීමට නොවන බවත්  'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය අවධාරණය කර සිටියි.

එබැවින් ජඩමාධ්‍ය කාරයන් කරගෙන යන භයානක නාටකය නිමා කිරීමට මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා ක්‍රියා කරන බලධාරීන් කටයුතු කළ යුතු බවත්,  නැතිනම් කෙතරම් නීති අලුතින් හඳුන්වා දුන්නත් මහජනතාවට සෙතක් නොවන බවත් එම වෙබ් අඩවිය පවසයි.

එම වෙබ් අඩවිය එම කරුණ අවධාරණය කර ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකර ඇති දූෂණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඇමරිකාව බලා ගිය FCID යේ ජ්‍යෙ.නි. පොලිස්පති රවි විද්‍යාලංකාර සහ ප්‍රධාන පො.පරීක්ෂක අනුර ප්‍රේමරත්න දෙදෙනා ඇමරිකානු එෆ්බීඅයි නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට ගිය බවත්, ඔවුන් නූලෙන් බේරුනු බවත් සඳහන් කරමින් පසුගිය ඉරිදා 'සත්හඬ' පුවත්පතේ පලවී තිබු පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි. 

ඒ සම්බන්ධයෙන් එම පුවතේ මෙසේද සඳහන්වේ.


5 වන වගන්තිය යටතේ දඬුවම් :


''පසුගිය සති අන්ත පුවත් පතක් මගින්ද, එම පුවත් පතේ අයිතිකරුටම අයත් වෙබ් අඩවියක් මගින්ද කර ඇති ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර ඔවුනට විරුද්ධව තොරතුරු දැන ගැනීමේ පනතේ 5 වන වගන්තිය යටතේ නීති ප්‍රකාරව ක්‍රියා කිරීමට යන බවද ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

ඉහත කී අතේ පැලවෙන බොරුව ප්‍රචාරය කර ඇත්තේ සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ අවශ්‍යතාවය අනුව, පුවත් පත සහ වෙබ් අඩවියේ අයිතිකරුවා ගෝඨාභය සමග සාකච්ඡා කිරීමෙන් පසුව බවද හෙළි වී තිබේ.

තොරතුරු දැන ගැනීමේ පනතේ 5 වන වගන්තියේ සඳහන් වන්නේ ලංකාව විදේශ රටක් සමග පවත්වාගෙන යන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු කිරීමේ තොරතුරු ප්‍රචාරය කිරීමට නොහැකි බවයි.

ඒ අනුව මෙම පුවත්පත සහ වෙබ් අඩවියේ අයිතිකරුවා තමන් ප්‍රචාරය කළ අමූලික බොරුවට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට යන බව දැනගත් විට ඔහුට අයත් වෙනත් වෙබ් අඩවියක් මගින් තමාම කී සිද්ධිය බොරුවක් යයි යලි ප්‍රචාරය කර තිබේ.


ගෝඨාභයට එරෙහි පරීක්ෂණය:

FCID යේ ජ්‍යෙ.නි.පොලිස්පති රවි විද්‍යාලංකාර සහ ප්‍රධාන පො.පරීක්ෂක අනුර ප්‍රේමරත්න දෙදෙනා කැලිෆෝනියාව බලා පිටත්ව ගියේ විදේශ ඇමැති මංගල සමරවීර මහතා පසුගිය දෙසැම්බර් 3 වන දින මූල්‍ය අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට ය.

පැමිණිල්ල අනුව කැලිෆෝනියාවේ කොන්සල් වරයාව සිටි දොස්තර හෙක්ටර් වීරසිංහ මහතා භාවිතා කළ නිවස ඔහුගේ ඇවෑමෙන් පසුව එනම් 2013 ජූලි මාසයෙන් පසුවද භාවිතා කෙළේ යයි ගෙවීම් කර ඇති නමුත් එහි කිසිදු කොන්සල් වරයෙක් සිට නැත.

ගෝඨාගේ කළු සල්ලි සුදු කරන්නෙකු වූ කැලිෆෝනියාවේ පදිංචි මල්රාජ් ඩි සිල්වා නමැත්තෙකු වීරසිංහගේ ඇවෑමෙන් කොළඹින් පත් කරන ලද නමුත් ඇමරිකානු බලධාරීන් ඔහුගේ පත්වීම අනුමත කර නැත.

එනම් සැබෑ ලෙස කිසිදු නීත්‍යාණුකූල කොන්සල් වරයෙකු සිට නැත.

නමුත් නිවසේ මාසික කුලිය ඩොලර් 8000 ක් දිගටම ගෙවා තිබේ. එපමණක් නොව කිසිදු කොන්සල් වරයෙකු නොමැති නිවසකට අන්තර්ජාල පහසුකම් සඳහාද දුරකථන රූපවාහිනී සඳහාද මුදල් ගෙවා තිබේ. අන්තර්ජාල පහසුකම් ලබාගෙන තිබෙන්නේ හෙක්ටර් වීරසිංහ මහතාගේ ඇවෑමෙන් පසුව වීමද විශේෂිතය.

හමුදා නිලධාරීන් දෙදෙනා ?

මේ අතරවාරයේදී කොන්සල් කාර්යාලයේ රාජකාරියට යැයි යුද හමුදාවෙන් ලක්ෂ්මන් සහ ඉන්දික නමැති හමුදා නිලධාරීන් දෙදෙනෙකුද යවා තිබෙන නමුත් එම නිලධාරීන් කිසිවෙකු කොන්සල් කාර්යාලයට වාර්තා කර නැති අතර ඔවුන් දෙදෙනා සිට ඇත්තේ පෙර කී නිවසේය.

ඔවුන්ට විදේශ අමාත්‍යාංශයෙන් වැටුප්ද යුද හමුදාවේ වැටුප්ද ලෙස වැටුප් දෙකක් ගෙවා තිබේ. (රජයේ නිලධාරියෙකුට රජයේ ආයතන 2 කින් එකවර වැටුප් ගෙවීම නීති විරෝධී ය)

සත්‍ය වශයෙන්ම එකී නිවසේ ජීවත් වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ ය. කොන්සල් වරයාගේ වාහනය භාවිතා කර ඇත්තේ ඒ දෙදෙනා ය.

හමුදා නිලධාරීන් දෙදෙනා සේවය කර ඇත්තේ ගෝඨාගේ පුත්‍රයාගේ සහ බිරිඳගේ රියැදුරා ලෙස සහ ආරක්ෂකයා ලෙස ය.


පුතාගේ බිරිඳ 'පමෝනා‘ සරසවියට :

ඒ බව හෙළිවන හොඳම සිදුවීම නම් ඔවුන් භාවිතා කළ රථය දිනපතාම පාහේ ගමන් කළා යැයි සඳහන් වන ස්ථානයකි.

රථය ‘පමෝනා‘ සරසවියට ගමන් කළා යැයි ගමන් වාර්තා වල සඳහන් වේ.

ඒ දිනවල පමෝනා සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටියේ ගෝඨාභයගේ පුතාගේ බිරිඳ ය.

ගෝඨාභයගේ පුතාට සහ බිරිඳට ආරක්ෂාව සහ රියැදුරුකම් කළ ඉහත කී හමුදා නිලධාරීන් දෙදෙනාට වැටුප් පමනක් නොව නීති විරෝධී අන්දමින් අතිකාල දීමනාද ගෙවා තිබෙන්නේ ලංකාවේ මහජනතාවගේ මුදලිනි.

අතිකාල දීමනා ලබා ගත හැක්කේ මසකට උපරිම පැය 100 කට පමණක් වුවද මොවුන් සෑම මසකම පැය 150 කට අධිකව අතිකාල දීමනා ලබාගෙන තිබේ. රාජපක්ෂ රෙජීමය පරාජය වී සති දෙකක් යන තුරු එකී අත්භූත නිවසේ රැඳී ඇති හමුදාවේ දෙදෙනා යලි ලංකාවට පැමිණ තිබේ. 


ස්වර්ණා ප්‍රේමචන්ද්‍ර :

ඉහත කී බරපතල දූෂනයේ තොරතුරු ප්‍රථමයෙන්ම හෙළිවන්නේ නව ආණ්ඩුව මගින් ස්වර්ණා ප්‍රේමචන්ද්‍ර හෙවත් රාජපක්ෂලා විසින් ඝාතනය කරන ලද භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ සොහොයුරියක කැලිෆෝනියාවේ නව කොන්සල්වරිය ලෙස පත් කිරීමෙන් පසුව ඇය විසින් කොළඹින් ගෙන්වන ලද විගණන නිලධාරීන් ලවා සිදුකරන ලද විගණනයකින් පසුව ය.

 විගණනයෙන් හෙළි වූ දූෂනය දැනගත් විදේශ ඇමැතිවරයා ඒ ගැන FCID යට පැමිණිලි කරන ලදී.

විදේශ ඇමැතිවරයාගේ පැමිණිල්ල අනුව පසුගියදා ජ්‍යෙ.නි.පොලිස්පති රවි විද්‍යාලංකාර සහ ප්‍රධාන පො.පරීක්ෂක අනුර ප්‍රේමරත්න දෙදෙනා කැලිෆෝනියාව බලා පිටත්ව ගියේ විදේශ අමාත්‍යාංශය හරහා මේ පිලිබඳව ඇමැරිකානු රජය දැනුවත් කිරීමෙන් පසුවය.

විදේශ රාජ්‍යයකට යෑමේ දී අනුගමනය කළ යුතු රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් ගැන අනවබෝධයෙන් රවි සහ අනුර දෙදෙනා කටයුතු කර ඇතැයි ඉහත කී පුවත් පත සහ වෙබ් අඩවි වාර්තාවේ සඳහන් වන්නේ ඒ අනුව අමූලික අසත්‍යයකි.


ගෝඨාගෙන් ගෙවීම් ගන්න ජඩමාධ්‍ය හිමිකරුවා :

ඉහත කී සති අන්ත පුවත් පත සහ ඔවුනට අයත් වෙබ් අඩවිය විසින් රාජ්‍යයන් දෙකක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන්ද අපහසුතාවයට පත් කරමින් “ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !“ සඳහන් පෝස්ටරයක්ද රට පුරා අලවා තිබිණ.

කලක් තිස්සේ ගෝඨාභයගෙන් ගෙවීම් ලබා ගන්නා ජඩමාධ්‍ය හිමිකරුවා හරහා මෙම අමූලික බොරුව රටේ ප්‍රචාරය කිරීමට ඔවුහු වග බලා ගත්හ.

මෙම සති අන්ත පුවත් පත සහ ඔවුන්ට අයත් වෙබ් අඩවිය මෙවැනි අමූලික අසත්‍ය ප්‍රකාශ කරන ලද ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට සති කිහිපයකට පෙර සිවිල් සංවිධාන නායකයන් ඇමැතිකම් ගන්න යනවා කියා ඔවුන්ගේ සේයාරූද සහිතව පෝස්ටර් ගසමින් පුවත් පළ කරමින් මහා අසත්‍යයක් ජනගත කෙළේය.

තොරතුරු දැන ගැනීමේ පනත නීතිගත කෙළේ ජඩමාධ්‍ය කාරයන්ට හිතූ හිතූ ලෙස බොරු දෙසා බාන්නද?''


සබැඳි පුවත් :


FCID ලොක්කගේ කතාව ගෝඨාගේ ප්‍රබන්ධයක්

ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top