Feb 13, 2017

ශ්‍රී ලංකන් - PIA ගණුදෙනුව අවසන්!

මෙරට ජාතික ගුවන්සේවය වන ශ්‍රී ලංකන් හා පකිස්තානු ජාත්‍යන්තර ගුවන්සේවය (PIA) අතර පැවත ‘වෙට් ලීස්’ ගණුදෙනුව පසුගිය සිකුරාදා (10) දින හදිසියේම අවසන් කර ඇතැයි වාර්තා වේ.
 
සය මසක කාලයකින් පසුව මෙම ගණුදෙනුව නවත්වා ඔවුන් ලබාගත් එයාර්බස් A 330 යානය ආපසු හරවා එවීමට PIA සමාගම තීරණය කර තිබීම මීට හේතුවයි.
 
කෙසේවෙතත්, යහපාලන ක්‍රියාධරයන් ගේ මතය වන්නේ ශ්‍රී ලංකන් සමාගමේ ඉහළ කළමනාකාරිත්වය විසින් ඉතා රහසිගතව සිදුකළ මෙම ගණුදෙනුවේ විස්තර සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි.
 
වත්මන් රජය බලයට පැමිණෙන විට සියළු ගණුදෙණු විනිවිදභාවයකින් යුක්තව සිදුකරන බවට පොරොන්දු ලබාදුන් බැවින් මෙම ගණුදෙනුවෙන් රටට ලද පාඩු / ලාභ පිළිබඳව ද මෙම ගණුදෙනුවට දූෂිත පුද්ගලයෙකු සම්බන්ධ වී ඇතිද යන්න පිළිබඳව අමාත්‍යවරයා විසින් පැහැදිලි කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් පවසයි.
 
මෙම සය මසක ගිවිසුම යටතේ ශ්‍රී ලංකන් ගුවන්සේවයේ A330- 300 එයාර්බස් යානා තුනක් ‘වෙට් ලීස්’ ක්‍රමයට බද්දට ගෙන පසුව ‘ඩ්‍රයි ලීස්’ ක්‍රමයකට යාමට PIA සමාගම මුලින් එකඟ වී තිබුණි.
 
කාර්ය මණ්ඩලය, නඩත්තු කිරීම්, රක්ෂණය ඇතුළුව ගුවන් යානයක් බදුගැනීම ‘වෙට් ලීස්’ බදු ක්‍රමය යනුවෙන් හැඳින්වේ.
 
කෙසේවෙතත්, මෙම ගණුදෙනුව අතරමගදී බිඳවැටුනු අතර, PIA සමාගම විසින් මේ දක්වා A 330 එයාර්බස් යානා දෙකක් බද්දට ගැනීමට අපොහොසත් විය.
 
මේ අතර, මෙම ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට ලාහෝර් නුවර පිහිටි ෆෙඩරල් පරීක්ෂණ ඒජන්සිය පරීක්ෂණයක් අරඹා ද තිබේ.
 
කෙසේවෙතත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ PIA සමාගම සමග පැවති මෙම සය මසක ගිවිසුම ඉතා සාර්ථක ලෙස අවසන් වූ බවයි.
 
සබැඳි පුවත් :

 

 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top