Feb 14, 2017

වස විස ගැහුව ගොවියන්ට අබ සරණයි ! Featured

දිවයින පුරා දිස්ත්‍රික්ක 14කට තවමත් බලපා ඇති දැඩි නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් මහ කන්නයේ වී වගාව ඇතුළු අනෙකුත් කෘෂි බිම් හෙක්ටයාර 114,729ක් (එක්ලක්ෂ දහහතර දහස් හත්සිය විසිනවයක්) ජලය හිඟකමින් වගා හානියකට මුහුණ පා අති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
 
ඒ අනුව, වී අස්වැන්න පමණක් මෙට්‍රික් ටොන් 344,884 ක් (තුන්ලක්ෂ හතළිස් හතර දහස් අටසිය අසූහතරක්) අහිමි වී යනු ඇතැයි ගණන් බලා ඇති බවද පැවසේ.
 
මහනුවර, පුත්තලම, කුරුණෑගල, රත්නපුරය, කෑගල්ල, වව්නියාව, කිලිනොච්චි, මුලතිව්, යාපනය, අනුරාධපුරය, මොණරාගල, හම්බන්තොට ගම්පහ හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක 14හි ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාස 87කට මෙම නියං තත්ත්වය බලපා ඇති බවද වාර්ත් වේ.
 
වස විසනැති ගොවිකමෙන් හාස්කම්
 
මේ අතර, උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ මඟපෙන්වීම යටතේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ වස විසෙන් තොරව වගා කළ වී ගොවිතැනෙන් උපරිම අස්වැන්නක් ලැබී ඇති බව වාර්තා වේ.
 
ත්‍රිකුණාමල දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී හා ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රියන්ත පතිරණ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙවර ත්‍රී'මලේ වස විසෙන් තොරව අක්කර 7,500 ක් වගා කළ අතර ඉන් අක්කර 1,000ක පමණ අස්වැන්න මේවන විට නෙලාගෙන ඇති බවයි.
 
මේ සම්බන්ධයෙන් පළාත් කෘෂිකර්ම හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වාර්තා ද ඉදිරිපත්කර ඇති බවද ප්‍රියන්ත මහතා කීය.
 
එසේ අස්වැන්න නෙලාගත් අක්කරයකින් වී බුසල් 80ක් පමණ ගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.
 
කෙසේවුවද, එම ප්‍රදේශයේ විනාශයට ලක්ව ඇති  සියලුම බිම් කෘෂි රසායන යොදා වී ගොවිතැන සිදු කළ ඒවා බවද පැවසේ.
 
නියඟයෙන් පුද්ගලයෝ හාරලක්ෂකයකට සෘජුව බලපායි 
 
Niyagayaආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ මේ වන විට පවුල් 129,601 (එක්ලක්ෂ විසිනව දහස් හයසිය එකක) ට අයත් පුද්ගලයෝ 483,386 (හාරලක්ෂ අනූතුන් දහස් තුන්සිය අසූහය) දෙනෙක් පීඩාවට පත් වී ඇති බවයි.
 
පානීය ජල හිඟයට මුහුණ පා සිටින ජනතාවගේ ජල අවශ්‍යතා සැපිරීම සඳහා ජල ටැංකි 4798ක් හා ට්‍රැක්ටර් හා ලොරි බවුසර් 349ක් සපයා ඇතැයි ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීය.
 
පවතින වියළි කාලගුණික තත්ත්වය අද (14) හා හෙට (15) යන දෙදින තුළ තරමක් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 
 
ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව, වයඹ යන පළාත්වල හා හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
 
අනෙකුත් පළාත්වල ද මෙම දින 2 තුළ සවස 2න් පසු කාලය තුළ වැසි ඇති විය හැකිය. එහෙත් ලබන මාර්තු මස මැද වන තෙක් නොකඩවා වැසි ලැබිමක් අපේක්ෂා කළ නොහැකි බව ද ඇය පැවැසුවාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top