Feb 14, 2017

'සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ යුතුයි' - චම්පික Featured

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ශ්‍රී ලංකා තුළ මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථා උදා කර දිය යුතු බව කී ඇමතිවරයා, කෙසේ නමුත් ඊට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තිබිය යුතු බව අවධාරණය කළේය.

පෞද්ගලික අධ්‍යාපන ආයතන තුළ වෛද්‍ය විද්‍යාව හැදෑරීමේදී ඒ සඳහා අවශ්‍ය විද්‍යාගාර සහ පර්යේෂණාගාර, ප්‍රවීණ මහාචාර්යවරු ඇතුළු සෙසු පහසුකම් උසස් ප්‍රමිතියක් යටතේ සැපයීමට නොහැකි වීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

මුදල් ගෙවා අධ්‍යාපනය :

අධ්‍යාපනය යනු වෙළඳ භාණ්ඩයක් නොවන බව කී ඇමතිවරයා "වෛද්‍යවරයෙක් බිහි කරන්න රජය වැය කරන්නේ ලක්ෂ විසි පහක්. ඒකට සයිටම් ආයතනයේ වගේ ලක්ෂ එකසිය විස්සක් ගෙවිය යුතු නැහැ" යනුවෙන් පැවසීය.

"ඒ වගේම ඉංජිනේරු විද්‍යාව හා සම්බන්ධ ඇතැම් විෂයන්වලට අවශ්‍ය පහසුකම් සපයන්න පෞද්ගලික අංශයට හැකියාව තිබෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා සමහර පාඨමාලා තවදුරටත් රජය විසින් පවත්වා ගෙන යා යුතුයි."

ශ්‍රී ලංකාවේ දරුවන් විදෙස්ගත වී අධ්‍යාපනය ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතැමුන් ප්‍රශ්න කරන බව කී ඇමතිවරයා, එයට විසඳුමක් වශයෙන් ඉහළ ලකුණු ලබා ගත් 'Z අගය' මත විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමි වූ සිසු සිසුවියන්ට රජයේ වෛද්‍ය පීඨ සහ ඉංජිනේරු පීඨ තුළ මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබා දියයුතු බවත් සඳහන් කළේය.

ඒ මතය' පිළිගත නොහැකියි :

එසේම රජයේ වෛද්‍ය විද්‍යාල උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දිය යුතු බවට පවතින 'වෛද්‍ය මතය' පිළිගත නොහැකි බවත් ඇමතිවරයා කියා සිටියේය.

"අපිට පිළිගන්න බැහැ ඒ වෛද්‍ය මතය. සුදුසුකම් තියෙන අය රජයේ රැකියාවලට ගන්න ඕනේ. රටේ අනෙකුත් ප්‍රවාහයන් වගේම අනෙක් අයට පෞද්ගලික අංශයට මුසු වෙන්න අවස්ථාව ලබා සිය යුතුයි."

නීති විරෝධී ලෙස පවත්වා ගෙන යනු ලබන අන්තර්ජාතික පාසල් රටේ අධ්‍යාපන පනත යටතට ගෙන පෞද්ගලික පාසල් බවට පත්කොට එම ආයතන දේශීය විෂය ධාරා උගන්වන පාසල් බවට පත් කළ යුතු බවත් ඇමතිවරයා කියා සිටියේය.

දැනුම පදනම් කරගත් නවෝත්පාදන ආර්ථිකයට ගැළපෙන, විද්‍යාධරයන් බිහිකිරීම අරමුණූ කරගත් රාජ්‍ය මෙන්ම ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික අධ්‍යාපනයක් රට තුළ ස්ථාපිත කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top