nsb

Feb 15, 2017

FCIDයට කට්ටි පැනපු මල්රාජ්, ගෝඨා එක්ක 'පාටි' දාලා ! Featured

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකර ඇතැයි කියන දූෂණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඇමරිකාව බලා ගිය FCID නිලධාරීන්, රාජපක්ෂ පාලන සමයේ ඇමරිකාවේ ලොස්ඇන්ජලිස් කොන්සුලර් කාර්යාලයේ ප්‍රධානියා ලෙස නම් කර සිටි මල්රාජ් ද සිල්වා මහතා ගෙන් ප්‍රශ්න කිරීමට බලවත් උත්සහයක් දරා ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලපෑම් නිසා බව මේවනවිට අනාවරණය වී ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

 FCID නිලධාරීන් ඇමරිකා ගිය දිනවල ඇමරිකාවට ගොස් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා දින කිහිපයක් කැලිෆෝනියාවේ පිහිටි මල්රාජ් ද සිල්වා මහතාගේ 'චිනෝ හිල්' (Chino Hills) නිවසේ නවාතැන් ගෙන සිටිමින්,  FCID විමර්ශනවලට මුහුණදිය යුතු ආකාරය එහි සිට සැලසුම්කර ඇති බවද එම පොලිස් නිලධාරියා කියා සිටියේය.

අදාළ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයින් කිහිප දෙනෙකුද කැලිෆෝනියාවට කැඳවා තිබු බවත්, එම මෙහෙයුමෙන් පසු සාදයක් පවත්වා තිබු බවත් එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

එම මෙහෙයුමට සහභාගී වී ඇතැයි කියන පුද්ගලයින්ගේ ඡායාරූපයක් ද එම පොලිස් නිලධාරියා විසින් අප වෙත යොමුකර තිබු අතර එය පහත පළවේ.

Malraj

(ජායාරුපයේ සිටින පුද්ගලයින් වමේ සිට දකුණට - රාජපක්ෂ පාලන සමයේ බ්‍රසීලයේ තානාපති ලෙස පත්කර සිටි රාජා එදිරිසුරිය,  විශ්‍රාමික මේජර් සරත්චන්ද්‍ර,  ගෝඨාභය රාජපක්ෂ, උපුල් ට්‍රවර්ස් අධිපති උපුල් ධර්මදාස,  කමාන්ඩෝ රෙජිමේන්තුවේ විශ්‍රාමික කර්නල් හඳපාන්ගොඩ, මල්රාජ් ද සිල්වා)


මහේෂට ට්‍රේනින් එකක් !

Maheshඅදාල මෙහෙයුම් කණ්ඩායම ලොස්ඇන්ජලිස් කොන්සුලර් කාර්යාලයේ නිලධාරියකු වන මහේෂ් ජයන්ත කුමාර නැමැත්තාවද 'චිනෝ හිල්' නිවසට කිහිපවරක්ම ගෙන්වා, FCID නිලධාරීන් ඉදිරියේ කට උත්තරදිය යුතු අකාරය පැහැදිලිකර දී ඇතැයි ද 'ශ්‍රී ලංකා මිරර්' වෙත තොරතුරු ලබාදුන් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

කෙසේවුවද ඇමරිකා ගිය  FCID නිලධාරීන් දෙදෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ඔහුගේ පුතාට එරෙහිව නඩු පැවරීමට අදාළ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට සමත්ව තිබේ.

මංගලගේ පැමිණිල්ල :


FCID නිලධාරීන් පසුගියදා ඇමරිකාවට ගොස් විමර්ශනයක් සිදුකලේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය වසරේ දෙසැම්බර් 03දා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කර තිබු  පැමිණිල්ලක් මතය.

රාජපක්ෂ පාලන සමයේදී රටේ මහජන මුදලින් කෝටි ගණනක් ගෙවා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සුපිරි නිවසක් කුලියට ගෙන නවාතැන් සපයාදුන්නේ කව්රුන් සඳහාදැයි සොයා බලන ලෙස එම පැමිණිල්ල මගින් ඉල්ලා තිබිණ.

මිට අදාළ ලිපිගොනු හා තොරතුරු රැසක් FCID ය වෙත ලබාදී ඇති විදේශ ඇමතිවරයා, ලොස්ඇන්ජලිස් කොන්සුලර් කාර්යාලය සඳහා යයි කුලියට ගෙන තිබු මෙම නිවාස සඳහා විදේශ අමාත්‍යංශය මාසිකව ඇමරිකානු ඩොලර් 8000ක් ගෙවා ඇතත් එහි කිසිදිනෙක කාර්යාලයක් පවත්වා ගෙන ගොස් නැති බව සඳහන් කර තිබේ.


පුතාගේ ආරක්ෂාව :


2015 මාර්තු මස දක්වා රාජපක්ෂ පාලනයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්සගේ පුතා උසස් අධ්‍යාපන කටයුතු සඳහා මෙම නිවසේ පදිංචිව සිටි බව තානාපති කාර්යාල ලිපිගොනුවලින් අනාවරණය වී ඇතැයි සිය පැමිණිල්ලෙන් කියා සිටී විදේශ ඇමතිවරයා, ඔහුගේ ආරක්ෂාව සඳහා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සිටි යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු රියදුරන් ලෙස යොදවා සිටි බවද සඳහන් කර තිබිණ.

එම සෙබළුන් දෙදෙනා යුධ හමුදාවෙන් පමණක් නොව විදේශ අමාත්‍යංශයෙන් ද වැටුප් ලබාගෙන ඇති බව විදේශ ඇමතිවරයා ලියකියවිලි මගින් තහවුරු කර තිබේ.

මෙම නිවාස සඳහා මාසික කුලියට අමතරව ජල විදුලිය හා රුපවාහිනි ගාස්තු ගෙවා ඇත්තේ ද විදේශ අමාත්‍යංශයෙන් බව බව සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති ඇමතිවරයා, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙම නිවාස යලි බාරදීමේදී අලභහානි වශයෙන් ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් ගෙවීමට සිය අමාත්‍යංශයට සිදුවූ බවද කියා සිටියි.

මේ සතියේ සත්හඬ බලන්න :


මේ අතර, “ගෝඨාගේ හොර අල්ලන්න, ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !“ යන සිරස්තලයෙන් යුතුව පසුගිය ඉරිදා 'සත්හඬ' පුවත්පත සිය ප්‍රධාන සිරස්තල යටතේ මිට අදාළ විශේෂ හෙළිදරව්වක් කර තිබිණ.

ඊට ප්‍රතිචාර දක්වමින් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය පවසා සිටියේ, 'සත්හඬ' පුවත මුළුමනින්ම අසත්‍ය බවයි.  එය තහවුරු කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ද පෙරදා මාධ්‍ය හමුවේ පවසා සිටියේ 'සත්හඬ' පුවත් අසත්‍යයක් බවයි.

ඒ සම්බන්ධයෙන් අප කල විමසීමකදී එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ, පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා කියා සිටියේ, අදාල පුවත සත්‍ය බව තහවුරු කරමින් ඊට අදාළ තවත් රහස් තොරතුරු රැසක් මේ සතියේ ඉරිදා 'සත්හඬ' තුලින් අනාවරණය කරන බවයි.


සබැඳි පුවත් :


''FCID ලොක්කාගේ කතාව බොරු'' - ගෝඨා, 'ඊ නිව්ස්' පුවත සනාත කරයි

ගෝඨාගේ පුවත : 'සත්හඬ' කතුවරුන් අත්අඩංගුවට !

ගෝඨාගේ පුවත බොරු - 'කෙප්ප කෙළීන්න දෙන්න බැහැ ' - ඊ නිව්ස්

FCID ලොක්කගේ කතාව ගෝඨාගේ ප්‍රබන්ධයක්

ඇමරිකා ගිය FCID ලොක්කා නූලෙන් බේරෙයි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top