nsb

Feb 16, 2017

'යුධ අපරාධ සෙවීමට වඩා නව ව්‍යවස්ථාව වැදගත්' - චන්ද්‍රිකා Featured

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට වඩා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව මේ මොහොතේ අවධානය පළ කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ සිටින විදේශීය මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින් ඒ බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරිය, මේ මොහොතේ යුද අපරාධ පිළිබඳ අධිකරණ පරීක්ෂණ ආරම්භ කළහොත් එය නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කාර්යයට පැහැදිලිවම බාධාවක් වනු ඇති බවත් සඳහන් කළාය.

"යුද අපරාධවලට වගකිවයුතු අයත් සොයාගන්න ඕනේ. ඒත් ඒක මේ මොහොතේ ප්‍රමුඛතාවය නෙවෙයි. අනික තමයි, යුද අපරාධ පරීක්ෂණ දැන් ආරම්භ කළොත් පැහැදිලිවම අලුත් ව්‍යවස්ථාවක් නෑ කියල මට සහතිකයි," ඇය සඳහන් කළේ විදේශීය මාධ්‍යවේදිනියක් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජනමත විචාරණයකින් ජයගත හැකිද?


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද යන්න පිළිබඳව විවිධ මතවාද පවතින නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැප වී සිටින බව ඇයගේ මතයයි.

"පක්ෂය ඒකට කැපවෙලා ඉන්නවා. ජනාධිපතිතුමා කැපවෙලා ඉන්නවා. ඒකට අකමැති අය ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ."

ජනමත විචාරණයකට මුහුණදීම ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක් බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් "ව්‍යවස්ථා සංශෝධනය" ක්‍රියාවට නැගීමට උත්සාහ දැරීම සිය පක්ෂයේ උත්සාහය බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා පසුගියදා 'බීබීසී සංදේශය'ට කියා සිටියේය.

එහෙත් නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීම පිණිස ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය බව අවධාරණය කරන ඇය, රටේ පවතින වාතාවරණය සලකා බැලීමේදී ජනමත විචාරණයකින් ජයගත හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනා සැකසහිත ආකල්පයක් දරන බව පිළිගත්තාය.

Chandrika
සුදු නෙළුම වගේ වැඩක් :


"අපි හිතන්නේ ඒකට කරන්න තියෙන්නේ මගේ ආණ්ඩුව කාලේ අපි සුදු නෙළුම කළා වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එක. හැමෝම ඒක ගැන කතාකරනවා හැබැයි එයාල ඒ ගැන කිසි දෙයක් කරන්නේ නෑ. අපි තව සති කිහිපයකින් ඒ වගේ දෙයක් පටන්ගන්නවා."

 නව ආණ්ඩුක්‍රම ව්‍යස්තාවක් හඳුන්වාදීමේදී සිය පාලන සමයේදීට වඩා වත්මන් ආණ්ඩුවට බොහෝ අභියෝගවලට මුහුණදීමට සිදු වී තිබෙන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.

"මගේ පාලනය කාලේ සංවිධානාත්මක අන්තවාදී කණ්ඩායම් තිබුණේ නෑ. ජාතික හෙළ උරුමය, බොදු බල සේනා, හිටපු ජනාධිපතිවරයෙක් නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය මේ සේරම ලඟදි මතුවුනේ. ඒක පැහැදිලිවම ලොකු අභියෝගයක්."


ඩයස්පෝරාවට කරන්න දෙයක් නැතිවෙලා :

යුද අපරාධ චෝදනා සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව විදේශීය මාධ්‍යවේදිනියක් විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිනිය කියා සිටියේ, ඒ පිළිබඳව උතුරු නැගෙනහිර පලාත්වල වෙසෙන ජනතාවගේ වැඩි අවධානයක් නොමැති බවයි.

"ඒ කියන්නේ අපි ඒ ගැන අමතක කළයුතුයි කියන එක නෙවෙයි. ඒ මිනිස්සුන්ට ඕනේ ඒ පළාතේ සංවර්ධනය, රැකියා අවස්ථා, තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සහ විශේෂයෙන්ම අතුරුදහන්වූවන්ට වුනේ මොකක්ද කියල දැනගන්න එක. යුද අපරාධ කියන දේ ගැන කතාකරන්නේ ඒ මිනිස්සු නෙවෙයි, ඩයස්පෝරාව. මොකද ඩයස්පෝරාවට දැන් කතාකරන්න දෙයක් නැතිවෙලා."

එවැනි පරීක්ෂණයක් සඳහා විදේශීය විනිසුරන් අවශ්‍ය වන්නේ මන්දැයි ඇය ප්‍රශ්න කළාය.

ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ :

"විදේශීය විනිසුරන් ගැන මගේ විරෝධයක් නෑ. නමුත් සමහරු විරුද්ධයි. කොහොමවුනත් වඩා වැදගත් වෙන්නේ විදේශීය විනිසුරන් කැඳවන එකද? නැත්නම් අලුත් ව්‍යවස්ථාව සකස් කරන එකද කියල හොඳින් සලකා බලන්න සිද්ද වේවි."

මහජනතාව සමග අදහස් හුවමාරු කරගැනීම පිණිස වත්මන් ආණ්ඩුවේ කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

(බීබීසී සංදේශය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top