15976 BM WEB BANNER 01
Feb 19, 2017

විනිමය කොමිසමට තුට්ටු දෙකේ පනතක්! Featured

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත වෙනුවට නව පනතක් ගෙන ඒම සඳහා මේ වන විට සකසා ඇති මූලික ලියවිල්ල කිසිදු විද්‍යාත්මක පදනමක් හෝ ජාත්‍යන්තර ප්‍රමිතියකට නොමැති බව මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කර සිටින්නේ අදාළ මූලික ලියවිල්ල ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා වෙබ් අඩවියේ පළකර ඒ සඳහා වැඩිදුර අදහස් දක්වන ලෙස ආරාධනා කර තිබූ නමුත් අවම වශයෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය රකින්නටවත් වගකිවයුතු පාර්ශ්වවලට අතපසු වී ඇති බවය.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා වෙබ් අඩවියේ පළකර ඇති ලියවිල්ලට අනුව ඉදිරියේ දී කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තුගත සමාගම්වල ප්‍රධාන විධායක ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සඳහා වෘත්තීය සුදුසුකම් වැනි සුදුසුකම් මාලාවක් යෝජනා වීමට ඉඩ ඇති බවත් එය කිසිසේත්ම මෙරට වැනි ඉදිරියේ දී වර්ධනයක් බලාපොරොත්තු වන කොටස් හුවමාරුවක වර්ධනයට බාධා කරන්නක් විය හැකි බවත් එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

තව ද මෙවැනි විශේෂ සුදුසුකම් ඇතුළත් කරන්නට යෙදුණහොත් මේ වන විට මෙරට ලැයිස්තුගත කර ඇති ප්‍රබල සමාගම්වල විධායක නිලධාරීන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් බහුතරයකට සිදු වන්නේ කුමක්ද යන්න පැහැදිලි නැති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගණකාධිකාරී ආයතනයේ සභාපති ඉවතට :

එසේම ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වත්මන් සාමාජික සංයුතිය 10 දෙනකු වුවත් නව ලියවිල්ල තුළ එම සංයුතිය වෙනස් කර එය සාමාජිකයින් 9ක් වන ලෙස වෙනස් කර ඇති බවත් එහි දී නිල බලයෙන් මෙතෙක් කොමිසමේ සාමාජිකත්වය හිමි වූ වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපතිවරයා ඉවත් කර ඇති බවත් මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ පිළිබඳ අදහස් පළ කරමින් මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකයින් සඳහන් කර සිටින්නේ වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපතිවරයා කොමිසම තුළින් ඉවත් කිරීම එම වෘත්තියට ඇති ගෞරවය ද නොතකා හැරීමක් කර ඇති බවය.

එසේම කොමිසමේ ස්වාධීනත්වය තහවුරු කරලීම සඳහා එහි ප්‍රධාන විධායක නිලධාරියා වන අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පුද්ගලයකු නම් කිරීමේ බලය අදාළ විෂයභාර අමාත්‍යවරයාට පැවරී තිබූ නමුත් නව ලියවිල්ල තුළ අමාත්‍යවරයාගේ ඒ බලය අහිමි කර ඇති බව ද ඔවුන් පෙන්වා දෙයි.

අදාළ ලියවිල්ල විමර්ශනය කරන විට එය මෙරටට අදාළව සකසනු ලැබූවකට වඩා මැලේසියාව, සිංගප්පූරුව, පාකිස්තානය වැනි රටවල් කිහිපයක් සතු පනත්වල කොටස් එකතු කර තැනූවක් බව පෙනෙන බවත් එහෙයින් ගෝලීය තත්වයන් සහ මේ වන විට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනතේ ඇති අඩුපාඩු සලකා බලා විද්‍යාත්මක පදනමක් ඇතිව නව පනත් කෙටුම්පත සකස් කරගත යුතුව ඇති බවත් මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකයෝ වැඩිදුරටත් සඳහන් කරති.

(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top