Feb 19, 2017

කීත් නෝයර් පැහැර ගැනීමට ගෝඨාගේ සම්බන්ධයක්? Featured

'ද නේෂන්' පුවත්පතේ සම සංස්කාරක කිත් නෝයර් මහතාගේ පැහැරගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද සම්බන්ධ බව ඊයේ ගල්කිස්ස උසාවිය හමුවේ අනාවරණය විය.

2008 වසරේ මැයි 22 වන දින පැහැරගෙන ගොස් දොම්පෙ ප්‍රදේශයේ නිළ නොවන හමුදා ආරක්ෂක නිවස්නයක් තුළ (Army safe house) රඳවා තබා ගනිමින්, දිගින් දිගටම පහරදෙමින් ප්‍රශ්න කරන ලදුව අවසානයේ සිවිල් සංවිධාන, තානාපති කාර්යාල හා ජාත්‍යන්තර සංවිධානවල පීඩනය හමුවේ මුදාහරින ලදී.

මෙම පැහැරගැනීම හා පහරදීම සම්බන්ධයෙන් ඊයේ (18) අලුයම අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු වන මේජර් බුලත්වත්ත, කීත් නෝයර් මහතා රඳවාගෙන සිටි දොම්පෙ පිහිටි හමුදා ආරක්ෂක නිවස්නය ඔහුගේ පුද්ගලික හැඳුණුම්පත හා ලියකියවිලි ලබාදෙමින් කුලියට ගත් එකක් බව රහස් පොලීසිය විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කොට තිබේ.

කීත් නෝයර් මහතා පැහැරගැනීමත් සමග ඔහු ඒ බව තම ප්‍රධානියා වන හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් අමල් කරුණාසේකර වෙත දැනුම් දී ඇති අතර අමල් කරුණාසේකර විසින් ඒ බව ජාතික බුද්ධි ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ වෙත දැනුම් දී තිබේ.

ඉන්පසු කපිල හෙන්දාවිතාරණ විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත ඒ බව පැවසීමෙන් අනතුරුව, ගෝඨාභය රාජපක්ෂ මහතා කෙලින්ම මේජර් බුලත්වත්තගේ ජංගම දුරකතනය අමතා, ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කර ඇතැයි ද අධිකරණය හමුවේ ප්‍රකාශ වී තිබේ.

මේ සියලුම දුරකතන අංක සහ වේලාවන් රහස් පොලීසිය විසින් නඩු විභාගයේදී අධිකරණයට ඉදිරිපත් කරන බව පවසා ඇත.

ෆොන්සේකාගේ හෙළිදරව්වක් !

එකල මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුනේ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා වෙතය.

කිත් නෝයර් මහතාව පැහැරගෙන යනු ලැබුවේ “යුද හමුදාව හමුදාපතිගේ පුද්ගලික නින්දගමක් නොවේ,” යන හිසින් විවේචනාත්මක ලිපියක් ලියා දින කීපයකට පසුව වීම ඊට හේතුවයි.

කෙසේවුවද ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා රහස් පොලිසිය හමුවේ දීර්ඝ කටඋත්තරයක් ලබා දෙමින් පසුගිය රාජපක්ෂ පාලන සමයේ භීෂණ ක්‍රියා රැසක තොරතුරු අනාවරණය කර තිබිණ.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත සිදුකෙරුණා පැහැරගැනීම් හා ඝාතනයන් රැසක් තොරතුරු හෙළිකර ඇතැයි පැවසේ.

කීත් නොයාර් සහ නාමල් පෙරේරා වැනි මාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාරවලට යුද හමුදාව සම්බන්ධ බවට එල්ලවූ චෝදනා පිළිබඳව 'බීබීසී සංදේශය' කල විමසීමකදී එවකට යුධ හමුදාපතිව සිටි හිටපු සරත් ෆොන්සේකා මහතා පවසා තිබුනේ, ශ්‍රී ලංකා යුද හමුදාව මාධ්‍ය මර්දනයට සම්බන්ධ බවට ඇඟවීම් කරමින් යුද්ධය පැවති සමයේ ජනමාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාරවලට හමුදාව සම්බන්ධ කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවයි.


සබැඳි පුවත් :

කීත් නොයාර්ට පහරදීම : මේජර්වරයෙක් අත්අඩංගුවට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top