nsb

Feb 20, 2017

කටුකුරුන්ද මුහුදේ සෝදිසි මෙහෙයුම් : මල සිරුරු 11ක් සොයාගනී

කටුකුරුන්ද මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීම හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකවේ.



ඒ සඳහා නාවික හමුදාව සමඟ ප්‍රදේශයේ ධීවරයින් ද එක්ව සිටිති. අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානයක් ද යොදවා තිබේ.

 ඊයේ දහවල් සිදු වූ මෙම අනතුරෙන් මියගිය පුද්ගලයින් 11 දෙනෙකුගේ මල සිරුරු මේ වනවිට සොයා ගෙන ඇති අතර කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු වන බව  පොලිසිය පවසයි.

දියේ ගිලී සිටිය දී බේරාගත් තවත් පුද්ගලයින් 17 දෙනෙකු බේරුවල රෝහලේ ද, තවත් 7 දෙනෙකු කළුතර නාගොඩ රෝහලේ ද ප්‍රතිකාර ලබයි.

බේරුවල ප්‍රදේශයේ දේවස්‌ථානයක පැවැති ආගමික උත්සවයක්‌ සඳහා බෝට්‌ටු 19 ක නැගී පිරිස්‌ පෙරහැරක්‌ ලෙස ගමන් කරමින් සිටියදී ඉන් එක්‌ යාත්‍රාවක් අනතුරට ලක්‌වීමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇතැයි බේරුවල පොලිසියේ උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

යාත්‍රාවේ වැඩි පිරිසක්‌ ගමන් කිරීම නිසා එය පාලනය කරගත නොහැකිව පෙරළෙන්නට ඇතැයි සැකකරන බවද ඔහු සඳහන් කළේය.

ජීවිතාරක්ෂක කබා පැළඳ නැහැ :

අනතුරට පත් බහුදින ධීවර යාත්‍රාවේ ගමන් කළ පුද්ගලයින් කිසිවෙකුත් ජීවිතාරක්ෂක කබා භාවිත කර නොමැති බව නාවික හමුදාව පවසයි.

මුහුදු ගමන් සිදු කිරීමේ දී තම ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව වඩාත් අවධානය යොමු කළ යුතු බව මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිතන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ පැවසිය.

මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බහුදින ධීවර යාත්‍රා නිසි පරිදි නියාමනය කෙරුණ ද ඒ සම්බන්ධයෙන් යාත්‍රා හිමිකරුවන් හෝ ජනතාව නිසි අවධානයක් යොමු නොකරන බවපැවසු ලූතිතන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ, 
මෙම සිද්ධිය හරහා මෙරට සංචාරක කර්මාන්තයට ද බරපතල හානියක් සිදුවිය හැකි බවට අනතුරු හැඟවිය.

''එකවරම උඩ ගොස්‌ පෙරළුනා''

බේරුවල බණ්‌ඩාරවත්ත දෙව්මැඳුරේ පැවැති දේව මෑණියන්ගේ වාර්ෂික මංගල්‍යය සැමරීම සඳහා කිතුනු බැතිමතුන් පිරිසක්‌ සංවිධානය කළ බෝට්‌ටු පෙරහැර කළුතර මුහුදු සීමාව දක්‌වා යාත්‍රා කරද්දී මෙම අනතුර සිදුවූ බව කටුකුරුන්ද මීසමේ පාලක ලෝරන්ස්‌ රාමනායක පියතුමා පැවසීය.

මෙම යාත්‍රා පෙරහැර සඳහා ට්‍රොලර් බෝට්‌ටු විශාල ප්‍රමාණයක්‌ ගමන් ගත් බවද මෙම යාත්‍රා ආපසු බණ්‌ඩාරවත්ත දෙව්මැඳුරට පැමිණෙමින් තිබියදී මෙම අනතුර සිදුවූ බවත් හෙතෙම කියා සිටියේය.

මෙම බැතිමතුන් ආපසු පැමිණ බණ්‌ඩාරවත්ත දෙව්මැඳුරේදී මංගල්‍යය අවසන් කිරීමට නියමිතව තිබුණි.

ඔවුන් මේ මොහොතේ ගීතිකා ගායනා කරමින් ගමන් කර තිබේ.

''ට්‍රොලර් යාත්‍රාව එක්‌ වරම උඩ ගොස්‌ පෙරළුණා. එහි ගමන් ගත් පිරිස මුහුදට වැටෙන්නට පටන් ගත්තා. සෙසු යාත්‍රාවල සිටි කීප දෙනෙකුම මුහුදට පැන මේ ජීවිත බේරාගන්න ලොකු සටනක්‌ කළා ''යෑයි සිද්ධිය ඇසින් දුටු බැතිමත්හු කීපදෙනෙක්‌ දෙව්මැඳුර පාලක පියවරුන්ට දැනුම් දී තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top