Feb 21, 2017

'ෆෙඩරල් ක්‍රමයකට යන්න ඉඩ දෙන්නේ නෑ' -ශ්‍රීලනිප Featured

මේ රට ෆෙඩරල් ක්‍රමයකට යාමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) බදුල්ල සයිමන් පිරිස් ශාලාවේ පැවැති  ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාන්තා බල මණ්ඩල රැස්වීමේදීය.

ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණ බව පැවසු අමාත්‍යවරයා, එය ජනාධිපතිවරණ මැතිවරණ පොරොන්දුවක් බවද සිහිපත් කළේය.

ව්‍යවස්ථාව තුළින් රටේ එකීය භාවය රැකීමටත්, සුදුසු මැතිවරණ ක්‍රමයක් බිහි කිරීමටත්, ස්වාධීත්වය ආරක්ෂාවීම සිදු විය යුතු බවද ඒ මහතා කියා සිටියේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම කරුණු දැක්වීම සිදුකලේ ඊට පෙරදින (19) බදුල්ලේ පැවති උත්සවයකට එක් වෙමින් එජාප ප්‍රධානියකු වන මහා මාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

ජනමත විචාරණය ගේමක් නැ:

kiriellaමේ මොහොතේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව බදුලු රැස්වීමේදී අවධාරණය කල අමාත්‍ය කිරිඇල්ලේ මහතා, ''අපි අළුත් ව්‍යවස්ථාවක් හදලා ජනමත විචාරණයකට ගියොත් අපිට ජය ගන්න පුළුවන්'' යයි කියා සිටියේය.

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

“යුද්ධය අවසන් වුණාට ජාතින් අතර ප්‍රශ්නය අවසන් වෙලා නෑ. බලය බෙදීමකට යන්න ඕන. අපි 13 වන ව්‍යවස්ථා සංශෝදනය ගෙනාවට ඒ බලය බෙදීම හරියට සිද්ධ වෙලා නෑ .ඒක පොත පතට පමණක් සීමා වෙලා තියෙන බලය බෙදීමක්.

මම සතුටු වෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිගත්තා 13 වන ව්‍යවස්ථා සංශෝදනය ප්‍රමාණවත් නෑ කියලා.  එතුමා තමා ඉස්සල්ලාම කිව්වේ මේ ගැන. බලය බෙදීමට මා අත් දෙකම ඔසවනවා. ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාත් බලය බෙදීමට අත් ඔසවනවා'' යයි වැඩිදුරටත් පැවසිය.

ෆෙඩරල් යෝජනා කළේ බණ්ඩාරනායක :bandaranayaka

මේ අතර නව ව්‍යවස්ථාවක් සඳහා සිංහල ජනයාගේ සහයෝගය ලබාගැනීම වෙනුවෙන් උතුරු-නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සහ ෆෙඩරල් පාලන ව්‍යුහයක් සඳහා ඉදිරිපත් කෙරෙන ඉල්ලීම් අත්හැර දැමීමට දෙමළ ජාතික සන්ධානය සූදානම්දැයි 'බීබීසි'ය පසුගියදා කල විමසීමකට ඊට පිළිතුරු දුන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා, සාකච්ඡා මාර්ගයෙන් එකඟත්වයක් ඇතිකර ගැනීමට අවස්ථාව උදාවෙන බව පෙන්වා දුන්නේය.

'අපි සිංහල පළාත්වලට ගිහින් අපේ ස්ථාවරය කියනවා. අපි එවැනි ස්ථාවරයක් ගැනීමට හේතු පැහැදිලි කරනවා. ඒත් අපි දැන් සිටින ස්ථාවරය වෙනස් කරන්නේ නැහැයි කියල අපි කියන්නේ නැහැ. ෆෙඩරල් විසඳුම ගැන දැනට තියෙන වැරදි අදහස නිවැරදි කරන්න අවශ්‍යයි. ලෝකයේ ස්ථාවර ආණ්ඩු පවතින සියලු රටවල තියෙන්නේ ෆෙඩරල් ආණ්ඩුක්‍රම' මන්ත්‍රීවරයා පවසයි.

'අනිත් අතින් ලංකාවට ෆෙඩරල් ආණ්ඩුක්‍රමය මුලින්ම යෝජනා කළේ අගමැති බණ්ඩාරනායක මහත්මයා .ඔහු යාපනයේ දී ෆෙඩරල් විසඳුම ඉදිරිපත් කළාම එදා යාපනයේ නායකයෝ ඊට විරුද්ධ වුනා. ඩොනමෝර් සහ සෝල්බරි කොමිසන් සභා ඉදිරියේ සාක්ෂි දුන් උඩරට නායකයනුත් ඉල්ලා සිටියේ ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක්' දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා දේශපාලන ඉතිහාසය විස්තර කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.


සබැඳි පුවත් :

ෆෙඩරල් අත්හැරීමට දෙමළ සන්ධානය සූදානම්'

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top