nsb

Feb 22, 2017

තොරතුරු කොමිසමේ තොරතුරු කොමිසමෙන්ම විමසයි

තොරතුරු දැනගැනීමේ කොමිසමේ තොරතුරු ඉල්ලා ශිෂ්ටලංකා2015 එම කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකර තිබේ.

තොරතරු දැන ගැනීමේ අයිතිය වඩාත් තහවුරුවීමට කොමිෂන් සභාව සමාජය ඉදිරියේ කෙතරම් ස්වාධීන ආයතනයක් ලෙස පැවතීම වැදගත් බවද එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

මේ කොමිෂන් සභාවට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගත යුත්තේ මුදල් අමාත්‍යංශයෙන් බවත් දක්වා ඇතත්, මේ වන විට එය ජනාධිපති කාර්යාලයෙන් යැපීමේ නැඹුරුවක් ඇති බවද එහි දැක්වේ.

එයට මූලික හේතුව වන්නේ පසුගිය (2017) අයවැයෙන් මේ ආණ්ඩුව විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ වගකීම් ඉටු කිරීම වෙනුවෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන් නොකිරීම බවද පැවසේ.

ඒ හේතුවෙන් ජනාධිපති විසින් ලබා ගන්නා මුදලින් රුපියල් මිලියන 1.8 ක් කොමිෂන් සභාවට ලබාදී ඇති බවද එහි දැක්වේ.

එම මුදල ඉදිරි කාලය සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර, ජනාධිපති හරහා අවශ්‍ය මුදල් ලබා ගැනීම පූර්වාදර්ශයක් බවට පත් වුවහොත් එම කොමිෂන් සභාව කිසිසේත් ස්වාධීන ආයතනයක් නොවනු ඇති බවද පැවසේ.

ශිෂ්ටලංකා2015 යොමුකර ඇති සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.


2017 පෙබරවාරි 22 වන දින

සභාපති
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ
කොමිසන් සභාව
කාමර අංක 203-204,
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව
බෞද්ධාලෝක මාවත
කොළඹ 07.

සභාපතිතුමනි,

කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය පත් කිරීම හා අදාළ තොරතුරු දැනගැනීමේ අයිතිය

පසුගිය පෙබරවාරි 03 වන දින ‘‘2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත’’ බලාත්මක කරමින් නිකුත් කෙරුණු ගැසට් පත්‍රිකාවට අදාළව ජනවාරි 29 සහ පෙබරවාරි 02 දිනවල පූර්වයෙන් කෙරුණු ප්‍රසිද්ධ දැනුම්දීම්වලට අනුව, ඔබ කොමිෂන් සභාව සඳහා වන කාර්යාලයීය කටයුතු ඒ වන විට ආරම්භ කර ඇත.

ඒ සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කෙරෙන අතිශය වැදගත් කාරණාවක් වනුයේ කොමිෂන් සභාව සමාජය ඉදිරියේ කෙතරම් ස්වාධීන ආයතනයක් ලෙස තහවුරු වන්නේ ද යන්නයි. අදාළ පනතේ 13 වන ඡේදය මගින් කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තිකයන් පත් කිරීම සඳහා අවශ්‍ය බලය ලබා දී ඇත. එසේම ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගත යුත්තේ මුදල් අමාත්‍යංශයෙන් බවත් දක්වා ඇත. එම කාර්යන් වෙනත් ආයතන හෝ අමාත්‍යංශ වෙත පැවරිය නොහැකි බවත් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය වෙනුවෙන් එම කාර්යන් විවෘතව හා වගවීමක් ඇතිව සිදු කිරීමේ සමාජීය වගකීම කොමිෂන් සභාව විසින්ම භාරගත යුතු බවත් අපි තරයේ විශ්වාස කරමු.

එහෙත් දැනට ද කොමිෂන් සභාව ජනාධිපති කාර්යාලයෙන් යැපීමේ නැඹුරුවක් ඇතැයි අපි දකිමු. එයට මූලික හේතුව වන්නේ පසුගිය (2017) අයවැයෙන් මේ ආණ්ඩුව විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ වගකීම් ඉටු කිරීම වෙනුවෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන් නොකිරීමත් ඒ හේතුවෙන් ජනාධිපති විසින් ලබා ගන්නා මුදලින් රුපියල් මිලියන 1.8 ක් කොමිෂන් සභාවට ලබාදීමත් ය. එම මුදල ඉදිරි කාලය සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර, ජනාධිපති හරහා අවශ්‍ය මුදල් ලබා ගැනීම පූර්වාදර්ශයක් බවට පත් වුවහොත් ඔබගේ කොමිෂන් සභාව කිසිසේත් ස්වාධීන ආයතනයක් නොවනු ඇත.

එවැනි තත්ත්වයක් හමුවේ, කොමිෂන් සභාවේ කාර්යන් සඳහා ස්ථාපිත කළ යුතු ලේකම් කාර්යාලයට පනතේ ප්‍රකාර අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ අවශ්‍ය අනෙක් සේවා නියුක්තිකයන් පත් කිරීම ස්වාධීන හා විවෘත ක්‍රියා පිළිවෙතක් නොවුණහොත් එය ද දේශපාලන හෙංචයින්ගෙන් සමන්විත විය හැක. එසේ වුවහොත් ඔබගේ කොමිෂන් සභාවෙන් පනතේ 14 වන ඡේදය යටතේ ඉටු විය යුතු කාර්ය හා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට ලැබිය යුතු බලය හා ස්වාධීන පැවැත්ම අහෝසි වනු ඇත.

එබැවින් එවැනි අවාසනාවන්ත තත්වයක් වළකාලීම පිණිස,
01. මේ 2017 වසර සඳහා කොමිෂන් සභාවට අවශ්‍ය මුදල් ප්‍රමාණය කොපමණ ද සහ එම මුදල් ප්‍රමාණය ලබා ගැනීමට ඔබ කොමිෂන් සභාව ගන්නා ලද පියවර
02. කොමිෂන් සභාවේ කාර්යන් වෙනුවෙන් පනතේ 13 වන ජේදය යටතේ සේවා නියුක්තිකයන් තීන්දු කර තිබේ නම් ඒ ගැන සියලූ තොරතුරු
03. අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු එම කාර්ය මණ්ඩලය පත් කිරීමේ අවම සුදුසුකම්
04. අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු එම කාර්ය මණ්ඩලය පත් කර ගන්නා කාර්ය පටිපාටිය හා කාල සටහන
සම්බන්ධයෙන් සියලූ තොරතුරු නොපමාව ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කරන මෙන් අපි මෙයින් ඉල්ලා සිටිමු.

අත්සන් කළේ -
නීතිඥ නෙවිල් ආනන්ද
වෘත්තීය සමිති නායක ඇන්ටන් මාකස්
ආචාර්ය ඉන්දි අකුරුගොඩ
සමාජ ක්‍රියාධර මුදිත කරුණාමුනි
මාධ්‍යවේදී කුසල් පෙරේරා
සිවිල් අයිතිවාසිකම් ක්‍රියාධර අම්රිත් මුතුකුමාරු
කෘෂි උපදේශක හා සමාජ සංවර්ධන කි‍්‍රයාධර හසන්ත ගුණවීර
ජනසන්නිවේදන උපදේශක ක්‍රිෂාන් සිරිවර්ධන

සම්බන්ධීකරණය -
නීතිඥ නෙවිල් ආනන්ද - 0777876811
මාධ්‍යවේදී කුසල් පෙරේරා - 0773508328

පිටපත් සියලූ මාධ්‍ය වෙත

Statement on 1

Statement on 2

Statement on 3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top