nsb

Feb 23, 2017

උතුරේ අවතැන්වූ සිංහල -මුස්ලිම් ජනයා අමතක කරලා !

යුද්ධය අවසන්වී වසර 8 ක් ගතවී ඇතත් දෙමළ, සිංහල, මුස්ලිම් අවතැන්වූවන්ට තම ඉඩකඩම් නැවත ලබා නැවත පදිංචිවීම, වන්දි ලබා ගැනීම වැනි මුලික යුක්තිය පවා ඉටුවී නොමැති බව ජිනීවා සැසිවාරයට සමගාමීම ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කල වාර්තාවේ දැක්වේ.

උතුරු පලාතේ සිංහල-මුස්ලිම් ජනතාවට සිය ඉඩම් කරා නැවත පැමිණීමේ අවස්ථාව හෝ වන්දි ලබා ගැනීමේ අවස්ථාව රජයත්, දේශීය හා ජාත්‍යන්තර සිවිල් ක්‍රියාකාරීත්වයේ අවධානයට යොමු නොවීම සංහිදියාව පිළිබද බෙදුණු පරතරය පෙන්වන අවස්ථාවක්’ යැයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ගේ අත්සනින් නිකුත් කළ වාර්තාවේ තවදුරටත් දැක්වේ. 


සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.

සංක්‍රාන්ති යුක්තිය - ශ්‍රී ලංකාව අතරමැද:

ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් ‘සංහිදියාව සහ වගවීම’ පිළිබද මානව හිමිකම් කවුන්සිලයේ අංක 30/1 යෝජනාව සම්මත වී මාස 16 ක් ගත වන වන විට ලබා ඇති ප්‍රගතිය ඉතා අල්පය. ශ්‍රී ලංකාවට අතීත මානව හිමිකම් කඩවීම් පිළිබද කටයුතු කිරීම සදහා ලැබූණු අවස්ථාව ක්‍රමිකව වියැකී යමින් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

ජීනිවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය නිමිත්තෙන් එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ගේ අත්සනින් නිකුත් කොට ඇති නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ යුද්ධය අවසන්වී වසර 8 ක් ගතවී ඇතත් අවතැන්වූවන්ට තම ඉඩකඩම් නැවත ලබා නැවත පදිංචිවීම, වන්දි ලබා ගැනීම වැනි මුලික යුක්තිය පවා ඉටුවී නොමැති බවයි.

‘1971 සංගණනයට අනුව ‘උතුරු පලාතේ සිංහල හා මුස්ලිම් ජනතාව 4% කට වැඩි ප්‍රමාණය බැගින් ජීවත් වුණා. දෙමළ ජනතාව සුළු ප්‍රමාණයක් නැවත පදිංචි කොට ඇතත්, සිංහල හා මුස්ලිම් ජනතාවට ‘ආපසු යාමේ අයිතිය’ නැතිවී තිබෙනවා. රජය හෝ දේශීය-ජාත්‍යන්තර සිවිල් සංවිධාන පවා මේ තත්වය අවබෝධ කොට ගෙන නෑ. ඒ නිසාම, ගම ඉඩම් දේපල නැවත හිමිකර ගැනීමේ අයිතිය, වන්දියක් ලබා ගැනීමේ අයිතිය සදහා වන අරගලය දුෂ්කර හා සැක සහිත තත්වයකට පත්ව තිබෙනවා’ යැයි ද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ වාර්තාවේ තවදුරටත් දැක්වේ.’

යහපාලන රජය 2015 ඔක්තෝබර් මස ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කරන විට එයට සුභ පැතූ මුල්ම කණ්ඩායම අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ද විය. එදා රජයට ඒ සදහා කැමැත්ත හා ධෛර්යය තිබුණා. යම් අර්ථාන්විත ප්‍රතිලඑයක් සදහා අවස්ථාවක් ඇති ලැබෙනු ඇතැයි අප එදා සිතුවා.

අද රජයේ උත්සාහයන් සම්බන්ධීකරණයක් නොමැති විනිවිද භාවයක් නොමැති බවක් පෙනෙනවා. සංක්‍රාන්ති යුක්තිය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් අදහස් හා යෝජනාව පිළිබද විවිධ මතවාද තිබෙනවා. විධායකය, අධිකරණය, පාර්ලිමේන්තුව සහ විවිධ මෙහෙයුම් බලකායන් එකිනෙකට වෙනස් මාවත් හි එකම අවස්ථාවේ ගමන් කරමින් සිටිනවා. ජනතාව වික්ෂිප්ත වෙලා. ලැබුණු අවස්ථාව අහිමිකර ගන්නා බවක් පෙනෙන්නට තිබෙනවා.

රාජපක්ෂ රජය සමයේ :

රාජපක්ෂ රජය සමයේ දී පවා ජනතාව, විශේෂයෙන්ම කාන්තාවන් බිය නැතිව ඉදිරියට ඇවිත් එල්එල්ආර්සී කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දුන්නා. අප ඔවුනට ආරක්ෂාව ලබා දෙන්නට ත්, ඔවුන්ගේ දුක් ගැනවිල්ල ලෝකයට කියන්නත් උපකාර කලා. එදා අපට ලොකු බලාපොරොත්තුවක් තිබුණා කවදා හෝ දවසක යුද්ධයෙන් පීඩාවට පත් වූ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම යුක්තිය ඉටුවනු ඇතැයි කියලා. 30/1 යෝජනාව සම්මත වන විට අපි සිතුවා දැන් ඒ සදහා අවස්ථාව කියලා.
දුෂණ විරෝධය, මැතිවරණ ප්‍රතිසංස්කරණ ගැන රජය දුන් පොරොන්දු බිදවැටෙනු, එක තැන පල් වෙන අයුරු රටේ ජනතාව දකිනවා. රජයේ පාර්ශවකාර පක්ෂ බලය බෙදීමක් සහිත නව ව්‍යවස්ථාවක් කෙරෙහි තවමත් බලාපොරොත්තු දල්වා සිටිනවා. ජනතාවගේ විශ්වාස අහිමිවීව පිළිබදව රජයේ පාර්ශවකරුවන්ට අවබෝධයක් ඇති බවක් පෙනෙන්නේ නෑ. ඔවුන් මහපොලවේ යාථාර්ථය, ජනවාරි 8 වෙනසට මග පෑතු එකමුතුබවේ සාධක නොතකා හරිමින් සිටී.

සංක්‍රාන්තික යුක්තිය සරළ ක්‍රියාවක් නොවේ. අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය, වන්දි ලබාදීමේ යාන්ත්‍රණය, අධිකරණ යාන්ත්‍රණය, සත්‍ය, සංහිදියාව වැනි කේෂ්ත්‍ර දැවැන්ත කැපවීමක් හා වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ සදහා ජාත්‍යන්තර සහාය ලබාගත හැකියි.

සාමාජිකයින් 11 දෙනකුගෙන් යුතු සංහිදියා යාන්ත්‍රණය එහි වාර්තාව ජනවාරි 3 දින බාරදුන්නා. එම අවස්ථාවට රජයේ ප්‍රධානීන් සහභාගි වුනේ නෑ. අධිකරණ අමාත්‍යවරයා වාර්තාවේ කරුණු පිළිබද අදහස් ප්‍රකාශ කොට තිබුණා.

හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමන් වෙත පැමිණිලි 65,000 ක් ලැබී ඇති බව ප්‍රකාශ කලා. තවත් වාර්තා නොවූ සිදුවීම් දහස් ගණනක් තිබෙනවා.

ඒ අතර ළමා සොල්දාදුවන්, ස්ත්‍රී හිංසනය, මරණ, පැහැර ගැනීම් වැනි විවිධ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් තිබෙනවා.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම සදහා සදහා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සෘජුව පෙනී සිටියා. අපට ලැබුණේ අඩු සහයෝගයක්. අවම වශයෙන් ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් හා සමපාත නොවන වගන්ති ඉවත් කිරීමක් හෝ අප බලාපොරොත්තු වුණා. වදහිංසා පමුණුවා ලබා ගන්නා ‘ප්‍රකාශයකින්’ නඩු පැවරීම සිදුවෙනවා. රජය දැන් ත්‍රස්ත විරෝධී පනතක් හදුන්වා දෙන්නට උත්සහ දරනවා. සමහර ක්‍රියකාරීන් එය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතටත් වඩා බියකරු බව කියනවා.

කෙසේ නමුත්, මෙම කේෂ්ත්‍රයේ කිසිදු ප්‍රගතියක් ලබා නොමැති බවක් කියන්න බෑ. අද ලාංකිකයින් පුළුල් නිදහසක් බුක්ති විදිනවා. වින්දිතයින් ආරක්ෂා කිරීම, අතුරුදන්වූවන් සම්බන්ධ පනත, තොරතුරු පනත යහපත් වෙනස්කම් වෙති. සමාජ ජාල ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙකුට හැර ජනමාධ්‍ය හා සිවිල් ක්‍රියාකාරීන්ට ඇති නිදහස ඒ අතර සුවිශේෂ වේ. ඉඩම් නැවත මුල් පදිංචිකරුවන්ට ලබාදීමේ ප්‍රගතියක් තිබෙනවා. නමුත්, අප තවත් බොහෝ දුර යා යුතුයි. සිංහල මුස්ලිම් ජනතාව අමතක නොකළ යුතුයි.

රජය හා සිවිල් සමාජය අතර සබදතාව

බිම් මට්ටමේ දී රජය හා සිවිල් ක්‍රියාකාරීත්වය අතර සම්බන්ධතාව අඩුයි. රජය සිය තීරණ සදහා බලපානු ලබන හේතු පිළිබද විවෘත විය යුතුයි. උදාහරණයක් ලෙස ජනාධිපති සිරිසේන මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස රාමනාදන් කන්නන් මහතා පත්කලා. එයට හේතු වුනේ දෙමළ කථා කරන ජනතාවගේ අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම. ජනාධිපතිවරයා එහි දී ව්‍යවස්ථානුකුලව නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කලා. නමුත් ඒ පිළිබදව ජනතාවට දැනුම තොරතුරු ලබා දෙන්නට රජය කටයුතු කළේ නෑ.

නීතිපති දෙපාර්තමේන්තුව මානව හිමිකම් කඩවීම් හා දුෂණ සම්බන්ධයෙන් දක්වන්නේ ඇල්මැරුණු ප්‍රතිපත්තියක්. දහස් ගණනක් විමර්ශන අවසන් ලිපිගොනු ඉදිරික්‍රියා මාර්ග නොමැතිව ගොඩ ගැසී තිබෙනවා.

අප සම්පූර්ණ චිත්‍රය දකින්නට උත්සහ කළ යුතුයි. 30/1 යෝජනාවට සමගාමීව දුෂණය මැඩලීම සදහා රජයේ කැපවීමත්, මානව හිමිකම් කඩවීම් පිළිබද ප්‍රකට සිදුවීම් පිළිබද කටයුතු කිරීමට අසමත්වීම නිසා ජනතාව තුල මෙම ක්‍රමය පිළිබද ඇති විශ්වාසය බිද වැටෙමින් තිබෙනවා. 30/1 යෝජනාව සාර්ථක ලෙස ක්‍රියාවට නංවන්නට නම් විදේශ තාක්ෂණික සහාය ලබාගෙන රජය ඒ සදහා ඇති තම කැපවීම පෙන්විය යුතුයි.

රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top