Feb 23, 2017

හමුදා බුද්ධි අංශය විසුරුවා හැරීමේ යෝජනාවක් ? Featured

බලඇණි හතකින් යුතුව 7000කට වැඩි සෙබළ පිරිසකගෙන් සමන්විත බුද්ධි අංශයක් යුධමය තත්වයක් නොමැති මෙවැනි වකවානුවක පලදායක නොවන බව පවසමින් යුධ හමුදා බුද්ධි අංශය විසුරුවා හැරීමේ සුදානමක් ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

පසුගිය පාලන සමයේදී ඇතැම් නිලධාරීන් විසින් දේශපාලනඥයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් හමුදා බුද්ධි අංශය නීති විරෝධී කටයුතු වලට යොමුකර ඇතැයි කියමින් එවැනි යෝජනාවක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට යුධ හමුදාවේ සිටි ප්‍රබලයකු කටයුතු කරමින් සිටින බව එම මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

යුධමය අවශතාවයන්ට පරිබාහිරව නීති විරෝධී කටයුතු කර ඇතයි සැකකෙරෙන බුද්ධි අංශ සාමාජිකයින් කිහිප දෙනෙකුම මේවනවිට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

චෝදනා කලාට නඩු නැහැ ?

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී යුධ හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, සෙබළුන් කිහිප දෙනෙකු  කළා යයි කියන වරදකට සමස්ත බුද්ධි අංශයම වගකිව යුතු නැති බවයි.

පසුගිය කාලයේ හමුදා බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකුම විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන මාස ගණන් රිමාන්ඩ් භාරයට පත්කර පසුව ඇප මත නිදහස් කර ඇතත් මේ දක්වා ඔවුනට චෝදනා ඉදිරිපත් කරමින් නඩු පවරා නැතැයි ද එම විශ්‍රාමික හමුදා නිලධාරියා පැවසිය.

එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහි මෙහෙයුමේදී හමුදා බුද්ධි අංශය විශාල කාර්ය භාරයක් ඉටුකළ බව පැවසු එම නිලධාරියා, හමුදා බුද්ධි අංශය පුළුල් කරනු ලැබුවේ යුධ ජයග්‍රණයෙන් පසුව බවද කියා සිටියේය.

යුධ සමයේ වව්නියාව, යාපනය හා මින්නේරිය බලඇණි තුනක් සහිතව සෙබළුන් 4000කට ආසන්න සංඛ්‍යාවකින් යුතුව ක්‍රියාත්මකවූ හමුදා බුද්ධි අංශය මේවනවිට ත්‍රීකුණාමලය, කිලිනොච්චිය, මුලතිව් හා කොළඹ වැනි නගරවලද සිය බලඇණි ස්ථාපිත කර තිබේ.

එහෙම තීරණයක් නැහැ :

යුධ හමුදා බුද්ධි අංශය විසුරුවා හැරීමේ සුදානමක් තිබේදැයි අප කල විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, එවැනි කිසිඳු සුදානමක් නොමැති බවයි.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශයක කාර්යභාරය හා වගකීම මැනවින් හඳුනාගෙන සිටින ජනාධිපතිවරයා, එවැනි යෝජනාවකට කිසිඳු ලෙසකින් එකඟ නොවනබව එම නිලධාරියා අවධාරණය කළේය.

කෙසේවුවද, නීති විරෝධිව කටයුතුවලට හෝ වංචා දුෂණ වලට සම්බන්ධ යයි සැකකෙරෙන හමුදා සාමාජිකයින් සිටිනම් ඔවුන් සම්බන්ධයෙන් නිත්‍යානුකුලව කටයුතු කිරීම හමුදාවේ ගෞරවය ආරක්ෂා කිරීමට පිටුවහලක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ක්‍රමවේදය වැරදියි :

keheliya 275මේ අතර අද (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, පසුගිය කාලයේ සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සහ පහරදීම් සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයේ ගැටලුවක් ඇති බව පැවසිය.

ඔහු මේබව පැවසුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නෝයර් පැහැරගෙනයෑම සහ පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින බුද්ධි අංශ නිලධාරීන් ගැන අදහස් දක්වමිනි.

මෙම සිදුවීම් වලට හමුදාව සම්බන්ධ නම් ඔවුන්ට තරාතිරම නොබලා දඬුවම් දිය යුතු බව පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා, කෙසේ නමුත් එයට අදාළ ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව අවධාරණය කළේය.

මෙම බුද්ධිඅංශ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදී පනත යටතේ බවට චෝදනා කළ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා සාමාන්‍ය පහරදීමේ සිද්ධියක් ලෙස මෙය සැළකිය යුතු බවද ප්‍රකාශ කළේය.

එදා මෙන් අදත් මෙම ප්‍රහාර පිටුපස සිටින්නේ කවුදැයි තමන් නොදන්නා බව ඒ පිළිබඳව යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසීය.

සබැඳි පුවත්

හිටපු හමුදා බුද්ධි ප්‍රධානියා රහස් පොලිසියට !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top