Feb 24, 2017

හමුදා ප්‍රහාරයට චන්ද්‍රිකාගෙන් ප්‍රති ප්‍රහාරයක්

කරුණු හරිහැටි විමසා නොබලා තමන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකයා හිටපු සේනාධිනායිකාවද වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී සිටී.

රජයේ නිලධාරීන්ගේ සහ යුද හමුදාවේ ඇතැමුන්ගේ ලිංගික අපචාර වලට මුහුණ දෙන්නට උතුරේ කාන්තාවන්ට සිදුවන බවට ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ (ONUR) සභාපතිනිය ලෙසින් හිටපු ජනාධිපති වරිය විදේශීය මාධ්‍යවේදීන් හමුවේ කළ ප්‍රකාශයක් හමුදා මුලස්ථානය විසින් පදනම් විරහිත එකක් ලෙසින් 2017 පෙබරවාරි 17 දා  දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබුනි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය (ONUR) සිහිපත් කර දී  ඇත්තේ සාමාන්‍ය වැසියන්ට සිදුවන අතවර පිළිබඳව හිටපු ජනාධිපතිනියගේ පාලන සමයෙන් පසු කිසිදු පියවරක් ගන්නා ලද වගක් යුද හමුදාවෙන් ප්‍රකාශයට පත්ව නැති බවයි.

ප්‍රේමවතී මනම්පේරි (1971), ක්‍රිෂාන්ති කුමාරස්වාමි සහ රාජනී වේලායුදන්පිල්ලේ (1995-2005) සම්බන්ධයෙන් සොල්දාදුවන්ට එරෙහිව චෝදනා නැගුනු අවස්ථාවේ යුද හමුදාව අධිකරණයට පූර්ණ සහයෝගය ලබා දුන් බව යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් කර තිබුනි.


චන්ද්‍රිකා සමය:


“යුද හමුදා සාමාජිකයින් ලිංගික අපචාරයන්ට සම්බන්ධවූ සිදුවීම් වලදී ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව,” පවසන හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ උපහාසයට ලක් කරමින් ONUR කාර්යාංශය පෙන්වා දෙන්නේ හමුදා නිවේදනයේ සඳහන් සිදුවීම් සියල්ලම පාහේ හිටපු ජනාධිපතිනිය බලයේ සිටියදී හමුදාවට එරෙහිව පියවර ගත් අවස්ථා බවයි.

“හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයාගේ මෙකී නිවේදනයේ ඇති උපහාසයට ලක් වන කරුණ වන්නේ එහි සඳහන් කර ඇති සිදුවීම් සියල්ලම පාහේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සේනාධිනායිකාව ලෙස කටයුතු කළ 2005 වසර වන තෙක් කාලයේදී, මුළු මහත් හමුදාවම අපකීර්තියට ලක් කිරීමට ඉඩ නොතබා, හමුදාව තුල විනය ක්‍රියාත්මක කිරීමට ගත් පියවර වීම,” යයි එය පෙන්වා දී තිබේ.

“එසේම 2005 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය තම ජනාධිපති සහ සේනාධිනායක ධූර කාලය අවසන් කිරීමෙන් පසුව වූ වකවානුවේ දී සිවිල් ජනතාවට හිංසාවක් වූ බවට වාර්තා වු කිසිම සිද්ධියක් ගැන කල පරීක්ෂණයන් හෝ එවකට බලධාරීන් විසින් ගත් ක්‍රියාමාර්ගයන් පිළිබඳව හෝ කිසිම සඳහනක් මෙම නිවේදනයේ නොවීම සැලකිය යුතු කරුණකි.”


හමුදා කඩිමුඩිය :

Roshansenevithna 670px 24 02 17
ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයෙන් කරුණු නොවිමසා යුද හමුදාව නිවේදනය නිකුත් කර ඇත්තේ  ‘කඩිමුඩියේ’ බව ONUR කාර්යාංශය පවසයි.

“ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු විසින් නිවේදනයක් නිකුත් කිරීමට ප්‍රථමයෙන්, ඒ ගැන කරුණු  සොයා නොබලා, හිටපු රාජ්‍ය නායිකාවක් සහ සේනාධිනායිකාවක් මෙවන් ප්‍රකාශයක් කළා යැයි පුවත්පත්වල දුටු බව පැවැසීම පුදුමයට කරුණකි,” යි  23 බදාදා ONUR නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ දෙමළ කාන්තාවන් වර්තමාන ආණ්ඩුවේ පාලනය යටතේත් හමුදා සෙබළුන්ගේ මෙන්ම රජයේ නිලධාරීන්ගේත් ලිංගික අතවරයට ගොදුරුවන බවට හිටපු ජනාධිපතිනිය කළ ප්‍රකාශයක් යුද හමුදාව විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් විවේචනයට ලක් කර තිබුනි.

හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකාවේ විදේශීය මාධ්‍යවේදීන්ගේ සංගමය හමුවේ කියා තිබුනේ “තවමත් ලිංගික අපචාර සිදුවෙනවා. ඉතා පහලම මට්ටම දක්වා ග්‍රාමසේවකයන් ද ඇතුළු දෙමළ නිලධාරීන් ගෙන් පවා. ලියැවිල්ලක් අත්සන් කරන්න පවා. සහතික වශයෙන්ම යුද හමුදාවේ ඉන්න අයත් කරනවා,” යනුවෙනි.

හමුදා මුලස්ථානයෙන්  නිකුත් කරන ලද නිවේදනය හිටපු ජනාධිපතිනිය කළ ප්‍රකාශය “පදනම් විරහිත අසත්‍ය චෝදනාවක්” බවට හෙලා දැක තිබුනේ සංහිඳියා ක්‍රියාදාමය අනතුරේ හෙලන්නක් ලෙසිනි.

“වර්තමානයේ යුද්ධ හමුදාව කිසිදු සිවිල් පරිපාලන කටයුත්තක් සිදුනොකරන බැවින් සංහිඳියා කාර්යාලයේ නිළධාරී විසින් එවැනි කිසිදු සිදුවීමක් පිළිබද හුවා දැක්වීමකින් තොරව සිදුකර ඇති මෙම ලිංගික අපචාරයන් පිළිබද ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය චෝදනාවක් බව ඉතා කණගාටුවෙන් සදහන් කරමි,” යි යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ පවසා තිබේ.

බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න එම නිවේදනයේ සඳහන් කරන ආකාරයේ ප්‍රකාශයක් හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් නොකරන ලද බවත් ශ්‍රී ලංකාවේ යුද හමුදාවන් විසින් උතුරේ කාන්තාවන් ලිංගිකව අපයෝජනයට ලක් කරන බවට කිසි විටෙක පැවසුවේ නැති බවත් ONUR නිවේදනය  අවධාරණය කර තිබේ.

උතුරේ කාන්තාවන්ට එරෙහිව සිදුකරනු ලබන වධ හිංසා සහ ලිංගික අපරාධ ඇතුළු අඩන්තේට්ටම් වලක්වා ලීම සඳහා පියවර නොගන්නා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව, දණ්ඩ මුක්තිය ආයතනගතව පවත්වාගෙන යන බවට එල්ලවන සවිස්තර චෝදනා පිළිබඳව සෑහීමකට පත් විය හැකි පිළිතුරක් නොදුන් බවට එක්සත් ජාතීන්ගේ මුල් පෙලේ විශේෂඥ කමිටුවක් ජිනීවා නුවරදී නොසතුට පළ කළේ හිටපු ජනාධිපතිනියගේ කාර්යාංශයේ නිවේදනයට දිනකට පෙරය.

(radiogagana)

සබැඳි පුවත්

කාන්තාවන්ට එරෙහි හිංසා : ආණ්ඩුවට ජිනීවා හිදී කටඋත්තර නෑ!

ස්ත්‍රී දූෂණ කළැයි කියන හමුදාවේ 6ක් ගැන UN එකට

දෙමළ කාන්තාව තවමත් ලිංගිකව පීඩා විඳිනවා' - චන්ද්‍රිකා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top