Feb 25, 2017

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසියට ජනපති කැමති නෑ ලු? Featured

හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනා පදනම් කරගනිමින් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කටයුතු කරන්නැයි ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙකු හා සිවිල් සමාජයේ නායකයින් පිරිසක් ජනාධිපතිවරයා ගෙන් කල ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිපයේ හා එජාපයේ ජ්‍යේෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකු විසින් මෙම නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීම් කර තිබූ අතර සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් කිහිප දෙනකු ද පසුගිය දා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවක දී මෙම ඉල්ලීම සිදු කර තිබේ.

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සලකා බැලීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 (1) වගන්තියෙන් පනවා ඇති ප්‍රතිපාදන අනුව බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, දූෂණ වංචා, ව්‍යවස්ථා උල්ලංඝනය,  විෂමාචාරය සම්බන්ධයෙන් මේ වන විට එල්ලව ඇති චෝදනා පදනම් කරගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස එම පිරිස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා තිබිණ.

එහි දී රාජපක්ෂ පවුලේ බැංකු ගිණුම් හා වෙනත් වංචා දුෂණ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතුවල අඩුපාඩුකම් පිළිගෙන ඇති ජනාධිපතිවරයා, විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස්දී ඇති බව සඳහන් කර තිබේ.


'මහින්ද අභියෝගයක් නෙමෙයි'


මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කටයුතු කරන්නේ දැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පසුගියදා ජනාධිපතිවරයා ගෙන් විමසා තිබු අතර, ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රජාතාන්ත්‍රීක නොවන අයුරින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළාසේ, තමා හිටපු ජනාධිපතිගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කිසිඳු  ලෙසකින් බලාපොරොත්තු නොවන බවත්, මහින්ද රාජපක්ෂ මහතා තමාට අභියෝගයක් ලෙස සලකා කටයුතු නොකරන බවත් ඔහු එහිදී අවධාරණය කර ඇතැයි ද ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

විෂමාචාර සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට FCID ය විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවකදීද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එය වලක්වා තිබිණ.

(සත්හඬ)


සබැඳි පුවත් :

'මහින්දගේ ප්‍රජා අයිතිය' : දේශපාලන පිටිය උණුසුම්වේ
 
'මහින්දගේ ප්‍රජා අයිතිය නැති කිරීම ලේසි නැහැ'

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසියි ?

මහින්ද කොටු කිරීමේ සුදානමක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top