nsb

Feb 25, 2017

TNA කැබිනට්ටුවට ගේන්න රතන හිමිගෙන් යෝජනාවක් Featured

දෙමළ ජාතික සන්ධානය (TNA) නියෝජනය කරන ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන්ටත් කැබිනට් අමාත්‍ය පදවි ලැබෙන සේ ආණ්ඩුවේ සංයුතිය වෙනස් කළ යුතු බවට  අතුරලියේ රතන හිමි යොජනා කරයි.

දෙමළ ජාතික සන්ධානය උතුරේ දෙමළ ජනතාවගේ බහුතරය නියෝජනය කරන පක්ෂය වූවත් ඔවුන්ට රාජ්‍ය පාලනයට එකතු වීමට ඇති අවස්ථාව අහිමි වීම මත නිරන්තරයෙන් රජය කෙරෙහි විවේචන පමණක් ගෙන එන කණ්ඩායමක් බවට පත්ව ඇති බව රතන හිමි පවසයි.

ඔවුන් රාජ්‍ය පාලනයට හවුල් වීම මඟින් උතුරේ ප්‍රශ්න සම්බන්ධයෙන් වඩා යහපත් විසඳුම් ලබා ගැනීමේ හැකියාව ද වන බව රතන හිමි පෙන්වා දෙයි.

කෙසේ නමුත් මෙම යෝජනාව දෙමළ ජාතික සන්ධානයට පමණක් නොව පළාත්බදව යම් දේශපාලන පක්ෂයක් වැඩිම ආසන ප්‍රමාණයක් දිනාගෙන තිබේ නම් එම පක්ෂයට පළාත් සංවර්ධන ඇමැති ධුරයක් ලෙස ලබා දිය යුතු බවට ද යෝජනා කර තිබේ.

ඊට විකල්ප යෝජනාවක් ලෙස සියලුම පළාත් සභා මහ ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයට සම්බන්ධ කරගත යුතු බවත් පැවසේ.


 ‘ශ්‍රී ලංකා ජාතික මහා සභාව’

පළාත් ඇමැති ධුර පිරිනැමීම හා තවත් යෝජනා රැසක් සමාජගත කිරීම වෙනුවෙන් ලබන 28 වන දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී විශේෂ සමුළුවක් පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇත.

 ‘ශ්‍රී ලංකා ජාතික මහා සභාව’ නමින් වන පුළුල් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරමින් මෙම සමුළුව පැවැත්වේ.

මෙම සමුළුව සඳහා සහභාගී වීමට ජනාධිපති, අගමැති ඇතුළු සියලු පක්ෂ නායකයන් වෙත ආරාධනා කර ඇත.

මෙම ජාතික සභාව ජනවාරි 8 දුන් පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලා සිටින අතර ශ්‍රී ලංකාව තිරසර ලෙස ගොඩනැංවීම, විධායක ජනාධිපති ධුරය ප්‍රජතන්ත්‍රවාදී කිරීම, ආර්ථිකයට විකල්ප ක්‍රියාමාර්ග ගැනීම ආදිය යෝජනා කර සිටින බව ද එම සංවිධායකයෝ පවසා සිටිති.


ඉඩම් හා පොලිස් බලතල :

එසේම පළාත් සභා සඳහා ඉඩම් බලතල පැවරීමේ දී ඉඩම් නැති ජනතාවට ඉඩම් පැවරීමට පමණක් ලඝු විය යුතු බවත් සමාගම් හා විශාල ව්‍යාපෘති සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව තීරණය ගත යුතු බවත් යෝජනා කෙරෙයි.

 එසේම පොලිස් බලතල පැවරීමේ දී ආයුධ දැරීමට සිදු වන අපරාධ සම්බන්ධ සිද්ධීන් හැරුණුකොට මාර්ග හා සිවිල් කටයුතු සම්බන්ධයෙන් පමණක් එම බලතල පැවරිය යුතු බවත් මෙහි දී යෝජනා කිරීමට නියමිතය.


(ඩී. මංජුල කුමාර)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top