nsb

Feb 25, 2017

සන්ධාන ආණ්ඩුවක් හදන්න ‘ඒකාබද්ධය’ මෛත්‍රී ළඟට Featured

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් ගොඩනැඟීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කරන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමේ පූර්ණ සහාය ඒ සඳහා ලබා දිය හැකි බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් කණ්ඩායමක් පසුගිය දා ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

එමෙන්ම රාජපක්ෂවරු කිසිවකු ඊට සම්බන්ධ කර නොගන්නා බවට ද එම කණ්ඩායම පොරොන්දු වී ඇත.

මෙම ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම රාජපක්ෂවරුන් අත්හැර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය පිළිගැනීම මේ වන විටත් සහතික කොට ඇති බවත් ඉන් කිහිප දෙනකු නුදුරේම මෛත්‍රී පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමට කටයුතු කරනු ඇති බවත් දැන ගැනීමට තිබේ.

කෙසේ නමුත් යළි සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය වන ආසන එකසිය දහතුනේ පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ පිරිසකගේ සහාය ද අත්‍යවශ්‍ය වන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට එජාපයේ කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බවය.

ඒකාබද්ධයේ මත දෙකක් :

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මත දෙකක් ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එජාපයෙන් අගමැති ධුරය ශ්‍රීලනිපයට ගෙන ආණ්ඩුවක් පිහිටුවිය යුතුය යන ස්ථාවරයේ යම් පිරිසක් සිටිය ද ඒ ඉතා අසීරු කරුණක් වනු ඇතැයි ද එමෙන්ම මේ මොහොතේ ආණ්ඩු බලය ලබාගෙන පවතින අර්බුදවලට විසඳුම් දිය නොහැකි බැවින් තවදුරටත් ශ්‍රීලනිපය ජනතාව අතර පිරිහීමට ලක් වන බව පෙන්වා දෙන කණ්ඩායමක් ද සිටී.

එලෙස සන්ධානය පිහිටුවන නව ආණ්ඩුව අසාර්ථක වුවහොත් 2020 දී එජාපයට පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ද හැකි වනු ඇතැයි එම කණ්ඩායම පෙන්වා දෙයි.

පසුගිය මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාව ලබා ගත් එජාපයට ආණ්ඩුව කර ගෙන යාමට ඉඩ නොදීම සදාචාරාත්මක නැති බව ද මෙම පිරිස පෙන්වා දුන්න ද ආණ්ඩුවක් පිහිටුවිය යුතු යැයි පවසන පිරිසේ අදහස වී ඇත්තේ පවතින ආර්ථික අර්බුදවලට පිළිතුරු සොයාගත හැකි බවය.

අවස්ථා තුනක් !

කෙසේ නමුත් පසුගිය දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රීලනිප සංවිධායකවරුන්ගේ රැස්වීමේ දී ජනාධිපතිවරයා පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ කිහිපයක් ගන්නා බව පවසා ඇත.

මෙම රැස්වීමෙහි දී ආණ්ඩුව සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හේතුවෙන් ශ්‍රීලනිපයට ගත හැකි ප්‍රධාන තීන්දු 3ක් ගැන සාකච්ඡා වී තිබිණි.

ඒ අතර නුදුරේම ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කර දූෂිත බවට චෝදනා එල්ල වූ ඇමැතිවරුන්ගේ තනතුරු වෙනස් කර 2020 දක්වා මෙම සම්මුතිවාදී ආණ්ඩුව පවත්වාගෙන යාම, එජාපයෙන් පිරිසක් එක් කරගෙන සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම හෝ එජාපයට ආණ්ඩුව තනිවම කරගෙන යාමට ඉඩ දී විපක්ෂයට යෑම යෝජනා වී තිබිණි.

ජනපතිගේ ස්ථාවරය :

එහෙත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කර ආණ්ඩුවේ අඩුපාඩුකම්වලට පිළියම් යොදා ගනිමින් 2020 ආණ්ඩුව කෙසේ හෝ පවත්වාගෙන යාම බව ශ්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.

ඇමැති මණ්ඩල සංශෝධනයේ දී පක්ෂ දෙකෙහිම තනතුරු වෙනසක් සිදු කෙරේ නම් ඒ සඳහා අගමැතිවරයාගේ සහාය ද හිමි වනු ඇති බවත් ඔහු පවසයි.

මේ අතර එජාප ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රීලනිපය එජාපයට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ නොදීම හා තනිව ආණ්ඩුවක් පිහිටුවීමට ගන්නා උත්සාහයට ඉඩ දී එජාපය විපක්ෂයට යෑම සිදු කළ යුතු බවට පසුපෙළ මන්ත්‍රීන් ගණනාවක් අදහස් පළ කළ බවය.

එහෙත් ඒ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කර නොමැත.

කෙසේ නමුත් ඉදිරි මාස කිහිපය ශ්‍රී ලංකාවේ දේශපාලනයට තීරණාත්මක වන ලකුණු මේ වන විට පහළව තිබේ.

(ඩී. මංජුල කුමාර)

සබැඳි පුවත්

'ජනාධිපතිතුමනි බලය අතට ගන්න' - ඩිලාන්

'ශ්‍රීලනිප ජනපති සමග සන්ධාන ආණ්ඩුවක්'

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top