15976 BM WEB BANNER 01
Feb 26, 2017

අපට අවශ්‍ය පිරිසිදු සන්ධානයක් - අමරවීර

ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමේදී ජාතිවාදයෙන් තොර වංචා දූෂණවලට සම්බන්ධ නොමැති කණ්ඩායම් සමග සන්ධානගත වීම වැදගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (පෙබ.25) වව්නියාවේ මාමඩුව ධීවර ගම්මානයේ "වැවක් සමග ගමක්" වැඩසටහන දියත් කෙරුණ අතර ඇමතිවරයා ඉහත කී ප්‍රකාශය කළේ 'බීබීසි සිංහල' සේවය විසින් කරන ලද විමසීමකදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් නොවන බවය.

"හුඟක් කට්ටිය ඉන්නවා එහෙම. ඡන්දෙට යන්න පක්ෂයක් ඕන, ඡන්දෙන් පස්සේ ස්වාධීන වෙන්න ඕන. අර මැක්කට බල්ලා නැතුව ගමනක් නැහැ වගේ ඡන්දයක් එනකොට පක්ෂයක් ඕන. එහෙම පක්ෂයේ ඡන්ද අරන් ඊට පස්සේ තනියෙන් හඬ නගන්න පටන් ගන්නවා" යනුවෙන් කී ඇමතිවරයා වීරවංශ මන්ත්‍රීවරයාගේ එම ඉලීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයට මෛත්‍රී :

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හෝ එහි බලතල කප්පාදු කිරීම පිළිබඳ තීන්දු කිරීමේ බලය පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව සතු බව කී ඇමතිවරයා, යම් හෙයකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නම් ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තරග කළ යුතු බවට රට තුළත් පක්ෂය තුළත් මතයක් පවතින බව වැඩිදුරටත් පැවසීය.


සබැඳි පුවත් :

සන්ධාන ආණ්ඩුවක් හදන්න ‘ඒකාබද්ධය’ මෛත්‍රී ළඟට
'ජනාධිපතිතුමනි බලය අතට ගන්න' - ඩිලාන් (වීඩියෝ) 

'ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න එක්ව කටයුතු කළ යුතුයි' - මනූෂ 

'ශ්‍රීලනිප ජනපති සමග සන්ධාන ආණ්ඩුවක්' 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top