Feb 26, 2017

කෙරවලපිටිය ‘ලොජෙස්ටික් සිටිය’ කෙළවර වෙයි Featured

ශ්‍රී ලංකාවේ ප්‍රථම සේවා නගරය ‘ලොජෙස්ටික් සිටි’ නමින් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුතුරාජවෙල කර්මාන්ත කලාපයේ කෙරවලපිටිය ප්‍රදේශයේ පසුගිය දා මුල්ගල් තැබූ ව්‍යාපෘතිය සම්බන්ධව බරපතළ අර්බුදයක් මතුව ඇති බව වාර්තා වෙයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරන ලෙස එම අර්බුදය මතුව තිබෙන්නේ කටුනායක දක්වා වැටී ඇති දක්ෂිණ අධිවේගී මාර්ගය ‘ලොජෙස්ටික් සිටි’ ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා වෙන්කර ඇති අක්කර 15ක ඉඩම හරහා වැටී ඇති නිසාය.

අධිවේගී මාර්ගය සැලසුම් කර ඇති ආකාරය අනුව එය මුතුරාජවෙල - කෙරවලපිටිය හරහා ඉදිවන විට අදාළ ඉඩමෙන් වෙනත් පරිභෝජන කටයුත්තක් සඳහා ඉතිරි වන්නේ පර්චස් 15ක් තරම් කුඩා ප්‍රමාණයක් බව සඳහන් කරන එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මේ වන විට එම ඉඩම රුපියල් මිලියන 694ක මුදලකට හේමාස් ලොජෙස්ටික් පෞද්ගලික සමාගම, ජී. ඒ. සී. ශ්‍රී ලංකා සමාගම, මැක්ලරන්ස් ජාත්‍යන්තර සමාගම ඒකාබද්ධව සිදු කරන්නට අපේක්ෂිත ‘ලොජෙස්ටික් සිටි’ය වෙත මිලදී ගෙන ඇති බවය.

වන්දි ගෙවීමට :

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙහෙයවීමෙන් මෙම ගනුදෙනුව සිදුකර ඇති නමුත් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය වෙනුවෙන් මෙම ඉඩම ලබා ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරියට සිදු වන බවත් එහි දී අදාළ ආයතන වෙත කොපමණ මුදලක් වන්දි වශයෙන් ගෙවීමට සිදු වේද යන්න සම්බන්ධව ද මේ වන විට ගැටලුවක් මතුව ඇති බවත්ය.

අප වෙත වාර්තා වන තවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉඩම මිලදීගත් සමාගමේ ඉහළ තනතුරක් දරන අයකුගේ දියණියක සමඟ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගේ බිරිඳගේ ඥාතියකු විවාහ වී සිටින අතර අදාළ ඉඩම මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හරහා මිලදී ගැනීම වෙනුවෙන් මැදිහත්ව ඇත්තේ ඔහුය.

ඉහළම ලන්සුවට :

මේ පිළිබඳ අප මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක වෙතින් කළ විමසුමක දී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ තමන් ඉඩම වෙත ලැබුණු ඉහළම ලන්සුව වූ රුපියල් මිලියන 694 කට එය ලබා දුන් බවත් රාජපක්ෂ සමයේ මෙම ඉඩම විකිණීමට සූදානම් කර තිබුණේ රුපියල් මිලියන 502ක් වැනි මුදලකට බවත්ය.

එසේම තමන් දන්නා ලෙසට අධිවේගී මාර්ගයේ ඉදිවීම අදාළ ව්‍යාපෘතියට බාධාවක් නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top