nsb

Feb 26, 2017

සිවිල් ගුවන් සේවා අධිකාරිය ලක්ෂ 76 ක් ගිලලා Featured

කැබිනට් තීරණ ඉවත දමමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය රුපියල් ලක්ෂ හැත්තෑහයක මුදලක් වැය කළේ කෙසේද යන්න පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සත්කාරකත්වයෙන් 2016 අගෝස්තු 01 දින සිට 05 දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති ආසියා ශාන්තිකර කලාපයේ ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වන සමුළුව සඳහා මෙලෙස අනුමැතියකින් තොරව රුපියල් ලක්ෂ හැත්තෑ හයක මුදලක් වැය කර තිබේ.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත්තේ රුපියල් මිලියන විස්සක උපරිමයකට යටත්ව අදාළ මුදල් වැය කරන ලෙසය.

එහෙත් අනුමත මුදල් ප්‍රමාණය ද ඉක්මවා අමාත්‍ය මණ්ඩලය ලබා දුන් තීරණ පසෙක දමා සිවිල් ගුවන් සේවා අධිකාරිය රුපියල් හැත්තෑ හය ලක්ෂ පනස් තුන්දහස් එකසිය හතළිස් පහ (7,653,145) ක මුදලක් නාස්තිකාර ලෙස අමතරව වැයකර ඇති අතර හෝටල් ගාස්තු සඳහා රුපියල් ලක්ෂ 158 ක්, මාධ්‍ය කටයුතු වැඩසටහන් සංවිධානයට ලක්ෂ 75 ක්, විදෙස් අමුත්තන්ට ලංකාව පෙන්වීම ශීර්ෂය යටතේ ලක්ෂ 14 ක්, ප්‍රවාහන පහසුකම් සඳහා ලක්ෂ 25 ක්, සිහිවටන පිරිනැමීමට ලක්ෂ 25 ක්, මුද්‍රණ වියදම් සඳහා ලක්ෂ 18 ක් ආදී වශයෙන් නියමිත සීමාවන් උල්ලංඝනය කරමින් මුදල් වියදම් කළේ කෙසේද යන්න පිළිබඳව විගණන විමසුම්වල අවධානය යොමුකර තිබේ.

විගණන විමසුම නොමඟ යැවීමට :

සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සම්මේලනය සඳහා රුපියල් මිලියන දහතුන (13)ක අනුග්‍රාහයක් ලබා ගන්නා බව පවසා ඇතත් එලෙස ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන හයක මුදලකි.

අදාළ විගණන විමසුම නොමඟ යැවීම සඳහා විගණන දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබූ ලිපිගොනු වෙනුවට වෙනත් ලිපිගොනු ඉදිරිපත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළ නිලධාරීන් උත්සාහ දරා තිබූ බව ද විමසුම් වාර්තාවල සඳහන්ය.

රජයේ විගණන දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිලි විමර්ශනවල දී අදාළ කරුණු හෙළිදරව් වී ඇති අතර මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාට ද රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් වාර්තාවක් ඉදිරිපත් කොට ඇත.


(දයා නෙත්තසිංහ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top