Feb 27, 2017

බැඳුම්කර ගැසට්‌ පත්‍රය: දත්ත විනාශ කිරීමේ වෑයමක් Featured

වත්මන් රජය විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවට අදාළ ගැසට්‌ පත්‍රය හිටපු ජනාධිපති හා මුදල් ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නිකුත් කිරීමට වගකිවයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අදාළ දත්ත විනාශ කිරීමේ උත්සාහයක නිරත වී සිටින බව එම බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගැසට්‌ පත්‍රය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නිකුත්ව තිබීම පිළිබඳව හෙළිදරව් වීමත් සමඟ එයට වගකිවයුතු මහ බැංකු නිලධාරීන් බොහෝ කලබලයට පත්වී ඇති බවත්, අදාළ ගැසට්‌ පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට යවන්නේ මහ බැංකුව විසින් නිසා ඊට සම්බන්ධ මහ බැංකු නිලධාරීන් මේ උත්සාහයේ නිරත වී ඇති බවත් එම ආරංචි මාර්ග හෙළි කරයි.

මතභේදයට තුඩුදුන් ගැසට්‌ පත්‍රය තමාගේ නමින් නිකුත් කිරීම සඳහා බැංකුවට සහ මුදල් අමාත්‍යාංශයට එරෙහිව නඩු පවරන බවට හිටපු ජනාධිපති හා මුදල් ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප්‍රකාශ කර ඇත.

සාමාන්‍ය පිළිවෙත අනුව එම බැඳුම්කර නිකුතුවලට අදාළ ගැසට්‌ පත්‍ර මුද්‍රණය යෑවීමට පෙර මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත යවන නිසා මේ සඳහා මහ බැංකුවට අමතරව මුදල් අමාත්‍යාංශය ද වගකිව යුතුව ඇතැයි 'දිවයින' පුවත්පත අවධාරණය කර සිටියි.

මුද්‍රණාලයාධිපතිගේ ප්‍රකාශය අද:

මේ අතර, මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළව මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නිකුත්ව ඇති ගැසට්‌ පත්‍රය මුද්‍රණය කළ දිනය පිළිබඳ රජයේ මුද්‍රණාලයාධිපතිවරයාගේ ප්‍රකාශය අද (27 දා) මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු පරික්‍ෂා කිරීම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ ගැසට්‌ පත්‍රය පිළිබඳ මත භේදාත්මක තත්ත්වය ඇති වූයේ ඉකුත් බ්‍රහස්‌පතින්දා (23 දා) එම කොමිසමේ සාක්‌ෂි විභාගය අතරතුරය.

ඒ අනුව එම ගැසට්‌ පත්‍රය මුද්‍රණය කළ දිනය පිළිබඳව රජයේ මුද්‍රණාලයාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්‌ ලබාගෙන අද උදේ 10.00 ට යළි කොමිසම රැස්‌වීමට නියමිතය.

එම ප්‍රකාශය රජයේ මුද්‍රණාලයාධිපතිවරයාගෙන් ඉකුත් 23 දා රහස්‌ පොලිස්‌ නිලධාරීන් විසින් ලබාගත් අතර එය අද කොමිසමට ඉදිරිපත් කිරීමෙන් පසු එම ගැසට්‌ පත්‍රයේ මුද්‍රණය කළ දිනය පිළිබඳ ඇතිවූ මතභේදකාරී තත්ත්වය නිරාකරණය වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ගැසට්‌ පත්‍රය පිළිබඳ ගැටලුව නිසා පසුගිය 23 දා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග මහතාගෙන් සාක්‍ෂි විමසීම අත්හිටුවන ලද අතර අද යළිත් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මුදල් ලේකම්වරයාට නියම කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි (සභාපති) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ ප්‍රසන්න එස්‌. ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ. වේලුපිල්ලේ යන මහත්වරුන් මෙම කොමිසමේ සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

සබැඳි පුවත් :

වැඩේ මාට්ටු ! - බැදුම්කර ගැසට් පත්‍රය ගැන මහින්දගෙන් නිවේදනයක්

'මහ බැංකුවේ සමරසිරිගේ වැඩ තහනම් කරන්න' 

බැදුම්කර ගැසට් නිවේදනයත් බොරු නම් තත්වය බරපතලයි ! 

බැදුම්කර ගැසට් පත්‍රයට නම දැම්මාට මහින්ද නඩු යයි. 

බැදුම්කරයට මහින්දගේ අත්සනින් නිකුත් වූ ගැසට් පත්‍රය මෙන්න

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top