Feb 28, 2017

බන්ධනාගාරයත් වගකිවයුතුයි - සාගල, ස්වාමිනාදන්ට කියයි

බන්ධනාගාර බස් රථයකට කළුතරදී ඊයේ (28) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය යන ආයතන දෙකම වගකීම භාරගත යුතු බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයා ද කළ යුතුව ඇත්තේ මෙම වෙඩි තැබීමේ වගකීම ශ්‍රී ලංකා පොලිසිය වෙත පමණක් පැවරීම නොව අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට කටයුතු කිරීම බව සාගල රත්නායක අමාත්‍යවරයාගේ නිවේදනයේ සඳහන් වේ.

සාගල රත්නායක මහතා එබව සඳහන් කර ඇත්තේ, බන්ධනාගාරය ආසන්නයේ දී සිරකරුවන් පිරිසක් රැගෙන ධාවනය වූ බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් මහතා විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාරයක් වශයෙනි.

කළුතර බන්ධනාගාරයේ සිට සිරකරුවන් පිරිස ප්‍රවාහනය කිරීමේදී පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණේ නම් බන්ධනාගාර රථයට එල්ල වූ ප්‍රහාරය වළක්වාගත හැකිව තිබූ බව ස්වාමිනාදන් අමාත්‍යවරයාගේ නිවේදනයේ සඳහන් විය.

වගකීම් පැහැරහැර ඇති නිලධාරීන් :

වගකීම් පැහැරහැර ඇති නිලධාරීන් ඇත්නම් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමටද වෙඩි තැබීමේ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කරන බව අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සිය කණගාටුව ද පළ කරන බව ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර අදාළ වෙඩි තැබීම සිදුකිරීම සඳහා සැකකරුවන් පැමිණි බව කියන වෑන් රථයේ හිමිකරු පොලිස් විමර්ශනවලදී හඳුනාගෙන තිබෙනවා.

ඔහු ත්‍රීකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් ආරංචි පවසයි.

අංගොඩ ලොක්කා සහ කඹුරුපිටියේ මධූෂ් යන දෙදෙනා මෙම වෙඩි තැබීමට සම්බන්ධ බවට ද සැක පළව තිබේ.


සාගල රත්නායක මහතා නිකුත්කළ නිවේදනය

kaluthara 2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top