nsb

Mar 01, 2017

ගුවන්තොටේ ඉන්ධන නල සංවර්ධන ටෙන්ඩරේටත් වංගුවක් Featured

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලෙහි පිහිටි ගුවන් යානා ඉන්ධන සැපයීමේ පර්යන්තය සහ ඉන්ධන නල පද්ධතිය සංවර්ධනය හා ඉහළ නැවීමේ ටෙන්ඩරය කිසිදු පලපුරුද්දක් හෝ තාක්ෂණික හැකියාවක් හෝ නොමැති සමාගමකට ප්‍රදානය කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ නිසා අදාළ පර්යන්තය හා නල පද්ධතිය දැඩි අවදානමකට ලක්ව තිබේ.

මෙම ටෙන්ඩරය ලබා ගැනීම සඳහා ග්‍රීක සමාගමක් වන මෙට්‍රොන් එනර්ජි විසින් කැබිනට් මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටුවට හා තාක්ෂණික ඇගැයීම් කමිටුවට ව්‍යාජ ලිපිලේඛණ ඉදිරිපත් කර ඇති බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති විෂය භාර ඇමතිවරයාට හා සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දී ඇත.

ග්‍රීසියේ ඇතෑන්ස් ගුවන් තොටුපලේ තෙල් ටැංකි ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීමේ සහතිකයක් අදාළ සමාගම උපදේශන ආයතනයකින් ලබා ගෙන ඇතත්, සිදු කළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ, මෙට්‍රොන් එනර්ජි එම ව්‍යාපෘතියේ උප කොන්ත්‍රාත්කරුවෙකු ලෙසින් පමණක් කටයුතු කළ බවටත්, එය කිසිදු විටෙක ව්‍යාපෘතියට සෘජුව සම්බන්ධ නොවූ බවටත් ය.

එමෙන්ම, ඩොලර් මිලියන 25ක් වටිනා ඉන්ධන පර්යන්ත ඉදි කිරීමේ ව්‍යාපෘතියක් සිදු කළ බවට එම සමාගම ඉදිරිපත් කර ඇත්තේ ද ව්‍යාජ ලිපිලේඛන බව වාර්තා වේ.

පසුගිය වසර 10ක කාලයේදී අවම වශයෙන් එක් ව්‍යාපෘතියක් හෝ ක්ෂේත්‍රයේ සිදු කර නොමැති එම සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කර ඇත්තේ, තමන් ඉදිරිපත් කළ ටෙන්ඩර් පත්‍රිකා සලකා බැලීමකින් තොරව බවට අනෙක් ඉල්ලුම්කරුවන් කියා සිටී.

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට යොමු කළ ලිපියකින් එහි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, අදාළ ටෙන්ඩරය මුලින්ම 2015 ජූනි 18 වැනිදා කැඳවූ  ප්‍රසම්පාදන කමිටුව හා තාක්ෂණික ඇගැයීම් කමිටුව කිසිදු හේතු දැක්වීමකින් තොරව එය අවලංගු කොට 2016 අප්‍රේල් 29 වැනිදා නැවතත් ටෙන්ඩර් කැඳවූ බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top